නුවර වැවෙන් මතු වන කිඹුල් මුහුණක් සහිත දැවැන්ත මාළුවා ගේ කතාව

මහනුවර වැව හෙවත් කිරි මුහුදෙහි මෙයට පෙර කිසිදා දැක නැති දැවැන්ත මත්ස්‍යයකු සිටින බව වාර්තා වෙයි. කිඹුලකු හා සමාන මුහුණක් සහ මාංශ භක්ෂණයට සරිලන දත් ආදිය පිහිටි මේ මත්ස්‍යයා ‘ඇලිගේටර් ගාර්’ (Alligator Gar) නමින් හඳුන්වනු ලබන මත්ස්‍යයා බව හඳුනා ගෙන ඇත. අඩි නවයක් පමණ දිගට වර්ධනය වන මේ මත්ස්‍යයා ජලය මත වෙසෙන කොකුන් වැනි ප්‍රමාණයෙන් විශාල පක්ෂීන් පවා ආහාරයට ගන්නා බවත් හෙළි වී තිබේ. මහනුවර වැවේ උල්පැන් ගෙය අසල සිට මහාමායා විද්‍යාලයේ ප්‍රාථමික දක්වා වූ කොටසෙහි මේ මත්ස්‍යයා සිටිනු කිහිප දෙනෙක්ම දැක ඇති අතර ඊට සම්බන්ධ ඡායාරූප ආදිය ද සමාජ මාධ්‍යය වෙත මුදා හැර තිබෙනු දක්නට ලැබිණි.

ඇලිගේටර් ගාර් යනු ‘ගාර්’ නමින් හඳුන්වනු ලබන මත්ස්‍ය පවුලේ විශාලතමයා වන අතර උතුරු ඇමරිකාවේ මිරිදිය ජලාශවල වාසය කරන විශාලතමයා ද වේ. ජලයෙහි ඉතා පහසුවෙන් පිහිනා යා හැකි වන පරිදි ටෝර්පිඩෝ එකක හැඩයෙන් මේ ගේ සිරුර මත්ස්‍යයා හැඩගැස් වී තිබේ. උතුරු ඇමරිකාව තුළ කලකට පෙර මේ මත්ස්‍යයා නිෂ්ප්‍රයෝජන සහ ආක්‍රමණශීලී (ආක්‍රමණශීලී යනුවෙන් මෙහිදී අදහස් කෙරෙන්නේ ඉතා වේගයෙන් බෝවන බවය) යැයි සලකා දඩයම් කරනු ලැබුව ද පසු කාලීනව පාරිසරික වශයෙන් ඇති වැදගත්කම සලකා එම ආකල්ප වෙනස් කරනු ලැබිණි. උපරිම වශයෙන් අඩි නවයක් හෙවත් මීටර් 3ක් දක්වා දිගකින් ද, රාත්තල් 350ක් හෙවත් කිලෝග්‍රෑම් 159 ක බරකින් ද ඇලිගේටර් ගාර් මත්ස්‍යයා යුක්ත වේ. අවුරුදු 50 – 70 අතර ආයු කාලයක් තිබෙන බව ද පැවසේ. ඇලිගේටර් ගාර් සතුව කරමල් මෙන්ම පෙනහලු ද පවතී. මෙය වෙනත් මත්ස්‍යයන්ගෙන් දක්නට නොලැබෙන විශේෂ ලක්ෂණයකි. මේ නිසා ඔවුන්ට ජලය නොමැතිව වුවද ස්වසනය කළ හැකිය. මොවුන්ගේ පරම්පරාව වසර මිලියන 100 ක් පමණ පැරණි යැයි ගණන කොට තිබේ. තනිව හැසිරෙන අක්‍රියාකාරී මත්ස්‍යයකු ලෙසින් ප්‍රකට වුව ද ඇල්ගේට්ර් ගාර් ඇතැම් අවස්ථාවල දී මග රැක සිට සතුන් පහර දෙන අවස්ථාවන් ද තිබේ. ඉබ්බන්, කුඩා මත්ස්‍යයින්, ජලය මතුපිට රැඳී සිටින සතුන් ආදීන් මොවුනගේ ආහාර බවට පත් වේ. මුවෙහි පේලි දෙකකින් යුක්ත ඉතා තියුණු දත් මේ මත්ස්‍යයා සතුය. මොවුන් මිනිසුන්ට පහර දුන් අවස්ථාවන් මෙතෙක් වාර්තා වී නැතත්, ජලයෙහි සිටින මිනිසකුට බරපතළ තුවාල කළ හැකි තරම් මොවුන්ගේ දත් ඉතා තියුණු ය.

මොවුන් අප රටට පැමිණ ඇත්තේ විසිතුරු මසුන් යන නාමය ඔස්සේ ය. මේ මත්ස්‍යයා වයසින් වැඩුණු පසු කෙතරම් විශාල වන්නේදැයි මොවුන්ව අළෙවි කරන්නා හෝ පාරිභෝගිකයා හෝ දන්නේ නැත. අප රටේ මේ වන විට ගැටලුවක් වෙමින් පවතින්නේ මේ තත්ත්වය යි . විසිතුරු මත්ස්‍යයකු ලෙස නිවසට රැගෙන ගිය පුද්ගලයන්ට මොවුන්ගේ විශාලත්වයට සරිලන පරිදි ටැංකි මිල දී ගැනීමේ හැකියාවක් නොපවතින විට ඔවුන් කරන්නේ කුමන හෝ ජලාශයකට ඔවුනව මුදා හැරීම ය.

ස්වාභාවිකව මිරිදියෙහි හැදුණු වැඩුණු මත්ස්‍යයකු වුව ද ඇලිගේටර් ගාර් පසුකාලීනව විසිතුරු මත්ස්‍යයකු ලෙස සලකා ඇති දැඩි කරනු ලැබිණි. මොවුන් උපන් රටවල්වල නම් මේ මත්ස්‍යයා වයසින් වැඩුණු පසු කෙතරම් විශාලත්වයකින් යුක්ත දැයි අවබෝධයක් ඇති නිසා ඊට සරිලන සේ ටැංකි තනා ඒවායේ මොවුන්ට ජීවත් වන්නට අවකාශය සලසා දී තිබේ. මහනුවර වැවේ සිටිය දී වාර්තා වුණු අවස්ථාවට පෙර මෙවැනි මත්ස්‍යයකු පිළිබඳ වාර්තා වී නොමැති බැවින් මෙයට පෙර අප රටෙහි ඇල්ගේටර් ගාර් නොසිටි බව සඳහන් කළ හැකිය. එසේ නම් මොවුන් අප රටට පැමිණ ඇත්තේ විසිතුරු මසුන් යන නාමය ඔස්සේ ය. මේ මත්ස්‍යයා වයසින් වැඩුණු පසු කෙතරම් විශාල වන්නේදැයි මොවුන්ව අළෙවි කරන්නා හෝ පාරිභෝගිකයා හෝ දන්නේ නැත. අප රටේ මේ වන විට ගැටලුවක් වෙමින් පවතින්නේ මේ තත්ත්වය යි . විසිතුරු මත්ස්‍යයකු ලෙස නිවසට රැගෙන ගිය පුද්ගලයන්ට මොවුන්ගේ විශාලත්වයට සරිලන පරිදි ටැංකි මිල දී ගැනීමේ හැකියාවක් නොපවතින විට ඔවුන් කරන්නේ කුමන හෝ ජලාශයකට ඔවුනව මුදා හැරීම ය. මහනුවර නගර මධ්‍යයේ ඇති වැවට ඔවුන් පැමිණ ඇත්තේ ඒ ආකාරයෙන් බව අමුතුවෙන් සඳහන් කළ යුත්තක් නොවේ. මහනුවර වැවෙහි ඇලිගේටර් ගාර් ගහනය කෙතරම්දැයි මෙතෙක් ගණන් බලා නැත. කෙසේ නමුත් මොවුන් දුටු මොහොතේදීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව නාරා ආයාතනයත් දැනුවත් කොට තිබේ.

මහනුවර වැවේ සිටින මේ මත්ස්‍යයා වැව් සොරොව්වෙන් මැද ඇලට පැමිණ ඒ ඔස්සේ මහවැලි ගඟ දක්වා ගමන් කිරීමේ අවදානමක් පවතින බැව් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තිරසර පරිසර කේන්ද්‍රයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය නලීන් ගමආරච්චි පවසයි. මොවුන් මහවැලි ගඟට යාමෙන් දැවැන්ත පාරිසරික හානියක් සිදුවිය හැකි බව ඒ මහතා තවදුරටත් පවසා සිටියි.

දැනට මහනුවර වැවෙ හැරුණු විට අප රටේ වෙනත් තැනකින් ඇලිගේටර් ගාර් සම්බන්ධයෙන් කිසිවක් වාර්තා වී නොමැත. දැනට මහනුවර වැවේ සිටින මේ මත්ස්‍යයා වැව් සොරොව්වෙන් මැද ඇලට පැමිණ ඒ ඔස්සේ මහවැලි ගඟ දක්වා ගමන් කිරීමේ අවදානමක් පවතින බැව් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තිරසර පරිසර කේන්ද්‍රයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය නලීන් ගමආරච්චි පවසයි. මොවුන් මහවැලි ගඟට යාමෙන් දැවැන්ත පාරිසරික හානියක් සිදුවිය හැකි බව ඒ මහතා තවදුරටත් පවසා සිටියි. එයට හේතුව නම් මහවැලි ගඟේ පවතින සංවේදී පරිසර කලාපයක් වන විස්සකින් පමණ සමන්විත හක්කිඳ දූපත් ආශ්‍රිතව ජීවත් වන ‘කොල ගඩයා’ (green lebeo) නම් මත්ස්‍ය වර්ගය විනාශ කරන්නට ඇලිගේටර් ගාර් මත්ස්‍යයාට ඇති හැකියාවය. කොල ගඩයා යනු මුළු ලෝකයෙන්ම මේ දූපත් ආශ්‍රිතව පමණක් ජීවත් වන රතු දත්ත පොතට පවා ඇතුළත් වූ මත්ස්‍ය වර්ගයකි. යම් හෙයකින් ඇලිගේටර් ගාර් මහවැලි ගඟ තුළ ව්‍යාප්ත වුවහොත් සිදුවිය හැකි දැවැනත් පරිසර හානිය මෙතෙකැයි කිව නොහැකිය. මේ නිසා ගැටලුව එතරම් දුරක් ගමන් කරන්නට ඉඩ නොදී මහනුවර වැවෙන් හැකි ඉක්මනින් මේ මත්ස්‍ය වර්ගය ඉවත් කිරීම කඩිනම් කළ යුතුව තිබේ. අප රටට විදෙස් රටවල්වලින් ගෙන්වනු ලබන සත්ත්ව සහ ශාක වර්ග පිළිබඳ දැනට වඩා ඉතා ඉහළ සැලකිල්ලක් සහ අවධානයක් යොමු කළ යුතුව ඇත. අප රට තුළ මෑතක සිට ව්‍යාප්ත වන ආක්‍රමණශීලී ශාක සහ සතුන්ට හේතුව මේ පිළිබඳ අවධානයක් යොමු නොකිරීමය. කිසිවක් නොකර සිටීම තළ අපට සිදුවන්නේ විනාශ වන අපට ආවේණික පාරිසරික පද්ධති පිළිබඳ සිතමින් සුසුම් හෙළීම පමණි.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර