පසුගිය කාලයේ මාධ්‍ය මඟින් රටම ඇන්දවූ ජ්‍යොතිෂ හොර නඩයට මොකද වුණේ? – හේම ශ්‍රී අමරසිංහ

ග්‍රහ අපල යන නම ඇසීමට පවා අද සමාජයේ බොහෝ දෙනෙක් බිය වෙති. ඊට ප්‍රධාන හේතුවක් වනුයේ පසුගිය කාලයේ රූපවාහිනී ඇතුළු ජන මාධ්‍ය වලින් ජ්‍යොතිර්වේදීන් ලෙසින් පෙනී සිටිමින් ජනකාන්ත බවට පත් පුද්ගලයන් ග්‍රහ අපල පිළිබඳව ඉවක් බවක් නොමැතිව පට්ටපල් බොරු පැතිරවීම ය. ඒ හුදෙක් තම බඩ වඩා ගැනීම බව ඕනැම නොදරුවකු හට වුව තේරුම් යනු ඇත. නිවැරදි ජ්‍යොතිෂමය කරුණු ඉදිරිපත් කිරීමට එවැනි ප්‍රාසාංගික ජ්‍යොතිර්වේදීන් හට ඇති මූලික හැකියාව සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකළ ජනමාධ්‍යකරුවන් ද එම “පච ගස් යට”තෙල් බෙහෙත් කරුවන් හට රූපවාහිනී මැදිරිවල ප්‍රධාන තැනක් ලබා දීම මුල්කොට පසුගිය කාල පරිච්ඡේදය පුරා ව්‍යවහාරික බසින් කිවහොත් ජ්‍යොතිර්වේදය පිළිබඳ පට්ටපල් බොරු ටොන් ගණන් සමාජගත වී තිබේ. මෙම තත්වය යටතේ ගත වූ කාලය තුළ ජ්‍යොතිර්වේදය පිළිබඳ ප්‍රාමාණික දැනුම් අවබෝධයන් හිමි ජ්‍යෙෂ්ඨතමයන් හට තම සුපුරුදු ජ්‍යොතිෂමය කටයුතු කරගෙන යාමේ අසීරුවක් පැන නැගුණු බව මෙතෙක් බාහිර සමාජය හමුවේ අනාවරණය වී නොමැති ප්‍රබල සත්‍යයකි. එමෙන්ම ජ්‍යොතිර්වේදය පිළිබඳ කිසිදු දැනුමක් අවබෝධයක් නොමැත්තවුන් විසින් ගත වූ කාලය තුළ ජ්‍යොතිර්වේදය සම්බන්ධ දුර්මත විශාල වශයෙන් එළි දක්වන ලදුව ජනප්‍රියත්වයට පත් ඇතැම් ජ්‍යොතිෂ පුවත්පත් මගින් ද මෙම හානිය මෙපරිද්දෙන්ම සිදු වූ බව ද බොහෝ දෙනෙක් නොදනිති.

අප රටේ ජ්‍යොතිර්වේදය සම්බන්ධයෙන් පැන නැගුණු මෙම බරපතළ අර්බුදකාරී තත්ත්වය හමුවේ ජ්‍යෙෂ්ඨ පළපුරුදු ජ්‍යොතිර්වේදීන් සැලකිය යුතු පිරිසක් ජ්‍යොතිර්වේදී කටයුතුවලින් මුළුමනින්ම ඉවත් වූ බව ද ඉතා සංවේගයෙන් යුතුව පැවසිය යුතුව තිබේ. ජ්‍යොතිර්වේදය නම් වන මෙම වටිනා ශාස්ත්‍රයට සේම ජන සමාජයටත් නරකක්, නපුරක්, අයහපතක් නොවනු පිණිස ඉතා වගකීම් සහගත අයුරින් ජ්‍යොතිර්වේදී කටයුතුවල යෙදෙමින් සිට පසුගිය කාලය තුළ ජ්‍යොතිර්වේදය සම්බන්ධයෙන් හටගත් අර්බුදය හමුවේ ජ්‍යොතිෂ කටයුතුවලින් මුළුමනින්ම ඉවත් වූ අතර ඔවුන්ගෙන් වැඩි කොටසක් මේ වන විට ජීවතුන් අතර පවා නැත. ඒ අනුව ඔවුන්ගේ ඉවත් වීමෙන් හටගත් ඒ හිඩැස, රික්තය යළි කෙසේ සපිරේ දැයි අපට නම් සිතා ගන්නට පවා නොහැක.

මෑත භාගයේ අප රටේ පහළ වූ ජ්‍යොතිර්වේදී පඬිරුවන් අතරේ මුල් තැනක් හිමි කර ගත් ලංකා ග්‍රහස්ඵුට පංචාංග ලිතේ සමාරම්භක කර්තෘ එස්.ඩබ්ලියු. කස්තුරිරත්න සූරීන්ගේ මුල් පෙළේ ශිෂ්‍යයකු වන වෑවලගේ විමලසිරි හෙවත් විශ්‍රාමික දුම්රිය ස්ථානාධිපතිවරයකු වන ඩබ්ලිව්.ටී.ඩබ්ලිව්. පෙරේරා මහතා කස්තුරිරත්න සූරීන්ගෙන් ලත් ඇතැම් අවබෝධයනට අමතරව භාරතීය පඬිවරුන් විසින් ලියන ලද ජ්‍යොතිර්වේදය සම්බන්ධ පර්යේෂණාත්මක කෘතීන් පරිහරණයෙන් ජ්‍යොතිෂය සම්බන්ධ තම ශාස්ත්‍රීය දැනුම නිරන්තරයෙන් මුවහත් කර ගත් විද්වතෙකි. එහෙත් 2015 වසරේ ජනාධිපතිවරණය මුල්කොට අප රටේ රූපවාහිනී මාධ්‍ය ඔස්සේ ජ්‍යොතිර්වේදයේ නමින් ඉදිරිපත් වූ අනේකවිධ විලම්බීත හමුවේ මහත් ඉච්ඡා භංගත්වයට පත් ඔහු ඉන් පසු තම ජ්‍යොතිර්වේදී කටයුතු මුළුමනින්ම අතහැර දැමීය.ජ්‍යොතීර්වේදී අනාවැකි නියතයක් ලෙස ප්‍රකාශ කීම සිද්ධාන්ත විරෝධී බව ඔහු ඒ දිනවල එම මාධ්‍ය ආයතන වලට පවා ලිඛිතව දන්වා තිබේ.එහෙත් එම මාධ්‍ය ආයතන විසින් කොට ඇත්තේ එම ලිපි ද ඒ හොර නඩය වෙතටම පත් කිරීම ය.ඔහුට ඒ බව දැන ගන්නට ලැබී ඇත්තේ ද ඒ පිළිබඳව කළ පසු විපරමක දීය. එහෙත්, එහි අතිශය ඛේදනීය තත්ත්වය වනුයේ එලෙස ජ්‍යොතිර්වේදී පඬිවරුන් ලෙස එක්වරම රූපවාහිනී තිර මගින් ජාතිය හමුවේ ප්‍රාදුර්භූත වූවන් බොහොමයක් ද මේ වන විට ආගිය අතක් නොමැති වීම ය. ඒ ජනමාධ්‍ය මගින් ජ්‍යොතිර්වේදයට කළ හැකි පරම අවැඩ, අයහපත සිදු කොට නිමා වීමෙන් පසුව ය.

ජ්‍යොතීර්වේදී අනාවැකි සත්‍යවීමේ සම්භාවිතාවක් පමණක් පවතින පසුබිමක තම දරුවා පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ගන්නා ලකුණු ප්‍රමාණය සේම අධ්‍යයන පොදු සහතික පත්‍ර සහ උසස් පෙළ විභාග සඳහා ලබා ගන්නා සාමාර්ථයන් පිළිබඳ නිවැරදි අනාවැකි ජ්‍යොතිර්වේදය මගින් පැවසිය හැකි බව පවසා ඇති ඊනියා ජනකාන්ත ජ්‍යොතිර්වේදීන් පිළිබඳ සුරංගනා කතා එම දරුවන්ගේ මව්වරුන්ගෙන් අසමින් පසුගිය කාලය තුළ අපි ද හීන් සීරුවේ අපගේ ජ්‍යොතිර්වේදී කටයුතු පවත්වාගෙන ගියෙමු. පසුව එය කෙතරම් අසීරු වී ද යත් පසුගිය කාලය තුළ ජ්‍යොතිර්වේදය හා සබැඳුණු එවන් ගජබින්න විශ්වාස නොකරන බුද්ධිමත් පිරිසකට හා ඔවුන්ගේ දැන හැඳුනුම්කම් සහිත තවත් පිරිසකට වශයෙන් වන සීමිත පිරිසකගේ ජ්‍යොතිර්වේදී අවශ්‍යතා සපුරාලීමෙන් සෑහීමකට පත් වීමට අපට සිදු විය.

නමුත් ජ්‍යොතිර්වේදයේ නමින් ජනකාන්ත තතත්වයට පත් බොරුකාරයන් සහ ප්‍රෝඩාකාරයන්ගේ සත්‍ය තත්වය වටහා ගත් මෙරට සාමාන්‍ය ජනතාව මේ වන විට ඔවුන්ගේ දුරින් දුරු වෙමින් හිඳින අතර ජ්‍යොතිර්වේදය හුදු බඩ වැඩුමක් කර නොගත් ඒ සම්බන්ධයෙන් විධිමත් හැදෑරීමක් කළ ජ්‍යොතිර්වේදීන් වෙත එළැඹීමේ යම් නැඹුරුවක් දක්නට ලැබේ. එය ජ්‍යොතිර්වේදය, සැබෑ ජ්‍යොතිර්වේදීන් සේම අප රටේ ජනතාව සම්බන්ධ අතිශය සාධනීය තත්ත්වයකි.

හේම ශ්‍රී අමරසිංහ

එතෙර - මෙතෙර