පාපන්දු ලෝක කුසලානයේ අවසන් තරගය 18 වැනි දා

papandu

මේ පාපන්දු ක්‍රීඩාව ගැන ලෝකයේම අවධානය යොමුව ඇති කාලයකි. 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය මේ වනවිට උණුසුම් ආකාරයෙන් ඉදිරියට යමින් ඇති නිසාය. මෙම ලිපිය ලියන අවස්ථාව (දෙසැ. 13) වනවිට තරගාවලිය එහි උච්ඡතම අදියර වෙත ළඟා වී තිබේ. අර්ධ අවසාන තරග ආරම්භ වීමට නියමිතව තිබූ අතර ප්‍රංශය, ආර්ජන්ටිනාව, මොරොක්කෝව සහ ක්‍රොඒෂියාව එම වටය සඳහා සුදුසුකම් ලබා සිටියේය. මේ අතරින් ප්‍රංශය සහ ක්‍රොඒෂියාව විශේෂත්වයක් ගන්නේ පසුගිය ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයට සහභාගි වූයේ ඔවුන් වන බැවිනි.

මෙවර අවසන් තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන 18 වැනි ඉරිදා යි. කටාර් රාජ්‍යයේ ලුසායිල් ක්‍රීඩාංගනයේ දී එය ආරම්භ වනු ඇත්තේ ලංකාවේ වේලාවෙන් රාත්‍රි 8.30 ටය.

තරගාවලිය උණුසුම් ආකාරයෙන් ඉදිරියට යමින් ඇති මේ දිනවල ලෝක කුසලාන තරග ගැන පමණක් නොව ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයන් ගැන ද තොරතුරු කියවන්නට, අසන්නට බොහෝ පාපන්දු ලෝලීන් කැමැත්තක් දක්වන බව රහසක් නොවේ.

මේ කියන්නට යන්නේ ද එවැනි තොරතුරු ටිකකි. මේ වනවිට ලෝකයේ වැඩිම ආදායම් උපයමින් සිටින පාපන්දු ක්‍රීඩකයන් ගැන අලුත් තොරතුරු ටිකක් පසුගිය දිනවල මාධ්‍ය තුළ පළ වී තිබිණි. එම තොරතුරුවලට අනුව මේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින ක්‍රීඩකයා වන්නේ ප්‍රංශයේ කිලියන් ම්බප්පේ යි.පසුගිය කාලයේ ලොව වැඩිම ආදායම් උපයන ක්‍රීඩකයන් ලෙස වැජඹුනේ පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, ආර්ජන්ටිනාවේ ලියොනෙල් මෙසී වැනි අය යි. නමුත් දැන් ඔවුන් පසුපසට ඇද දමමින් ම්බප්පේ ඉදිරියට පැමිණ ඇති ආකාරය දැකිය හැකි වේ.

ම්බප්පේගේ වයස තවමත් අවුරුදු 23 ක් පමණි. ඔහු 2022-23 තරග වාරය තුළ උපයන මුදල ඇ. ඩොලර් මිලියන 128 ක් පමණ වනු ඇති බවට තක්සේරු කර තිබේ. මෙය ලංකා මුදලින් රුපියල් බිලියන 47 කට ආසන්න ය. මෙයින් ඇ. ඩොලර් මිලියන 110 ක් ක්‍රීඩාව තුළින් උපයනු ඇති අතර ඇ.ඩොලර් මිලියන 18 ක් වෙළෙඳ දැන්වීම් ආදියෙන් උපයන ආදායම යි.

ප්‍රංශයේ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන අතර ම්බප්පේ එරට පැරිස් සේන්ට්- ජර්මේන් කණ්ඩායම වෙනුවෙන් ද ක්‍රීඩා කරයි. ඔහු තම රට වෙනුවෙන් පළමු වරට ජාත්‍යන්තර තරගයකට සහභාගි වන විට වයස අවුරුදු 18 ක් පමණක් විය. කුඩා වියේ සිටම ම්බප්පේ පාපන්දු ක්‍රීඩකයකු වීමට සිහින දුටු අයෙකි. කැමරූන් ජාතිකයකු වන ඔහුගේ පියා පාපන්දු පුහුණුකරුවකු බව ද සඳහන් වේ. තමාගේ යොවුන් වියේ දී සිය පාපන්දු සිහිනය ඉටු කර ගැනීම සඳහා බොහෝ කැප කිරීම් කළ බව ම්බප්පේ පවසයි. එකල තමා ගත කළේ සාමාන්‍ය ගැටවරයකු ගත කරන සාමාන්‍ය ජීවිතයක් නොවන බවත්, මිතුරු ඇසුර සඳහා, ජීවිතය විවිධාකාරයෙන් රස විඳීම සඳහා තමාට කාලයක් නොවූ බවත් ඔහු පවසා තිබිණි. නමුත් ඔහු පවසන්නේ තමා ගත කළේ තමාට වුවමනා වූ ජීවිතය බවයි. තමා දැන් බොහෝ සතුටින් ජීවත්වන බව ද ඔහු පවසා තිබේ.

මෙම ලිපිය ලියන අවස්ථාව වනවිට ලෝක කුසලාන තරගාවලියේ පැවැත්වීමට නියමිතව තිබුණේ අර්ධ අවසාන තරග යි. ඒ වනවිට පවත්වා තිබූ තරගවලදී ම්බප්පේ තම කණ්ඩායම වෙනුවෙන් ගෝල 5 ක් වාර්තා කර තිබිණි. 2018 වසරේ ලෝක කුසලාන තරගාවලියේ දී ශූරතාව දිනාගත්තේ ප්‍රංශය යි. ම්බප්පේ එම තරගාවලිය සඳහා ද ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකි. ක්‍රොඒෂියාව සමග පැවැති අවසන් තරගයේදී ද ඔහු ගෝලයක් ලබා ගත්තේය.

2022-23 තරග වාරයේ වැඩිම ආදායම් උපයනු ඇතැයි පැවසෙන ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ දෙවැනි තැන සිටින්නේ ආර්ජන්ටිනාවේ ලියොනෙල් මෙසී ය. ඔහු මෙම තරග වාරය තුළ ඇ.ඩොලර් මිලියන 110 ක්, එනම් ලංකා රුපියල් බිලියන 40 ක් පමණ උපයනු ඇති බව සඳහන් වේ. තුන්වැනි තැන සිටින රොනාල්ඩෝ උපයනු ඇතැයි තක්සේරු කර ඇති මුදල ඇ. ඩොලර් මිලියන 100 (ලංකා රුපියල් බිලියන 37) කි.
මෙම ලැයිස්තුවේ ඉහළම ස්ථාන 10 හිමි කරගෙන සිටින ක්‍රීඩකයන්ගෙන් ඉතිරි 7 දෙනා පහත සඳහන් පරිදි වේ.

4 නේමාර් (බ්‍රසීලය) ඇ.ඩොලර් මිලියන 87
5 මොහොමඩ් සාලා (ඊජිප්තුව) ඇ.ඩොලර් මිලියන 53
6 අර්ලින් හාලන්ඩ් (නෝර්වේ) ඇ.ඩොලර් මිලියන 39
7 රොබට් ලෙවන්ඩොව්ස්කි (පෝලන්තය) ඇ.ඩොලර් මිලියන 35
8 ඊඩ්න් හසාර්ඩ් (බෙල්ජියම) ඇ.ඩොලර් මිලියන 31
9 අන්ද්‍රෙස් ඉනියෙස්ටා (ස්පාඤ්ඤය) ඇ.ඩොලර් මිලියන 30
10 කෙවින් ඩි බෘයින් (බෙල්ජියම) ඇ.ඩොලර් මිලියන 29

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර