මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා වීම සඳහා පාසල් දරුවන්ට නිල ඇඳුමට අමතරව අත් සහ කකුල් වැසෙන සේ සුදුසු ඇඳුම් ඇඳීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවසර ලබා දී තිබේ. මීට අමරතව පෙර පාසල් දරුවන්ටද ආවරණය වන පරිදි සුදුසු ඕනෑම ඇඳුමකින් සරසවා පෙර පාසල් සඳහා යොමු කරන ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයද මවුපියනට දැනුම් දෙයි.
ඩෙංගු වයිරසයෙන් පාසල් හා පෙර පාසල් සිසුන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම පියවර අනුගමනය කිරීමට රජය තීරණය කර තිබේ.ඒ සඳහා අදාළ උපදෙස් සියලු විදුහල්පතිවරුන්ට මේ වන විට දැනුම් දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.ඊට අමතරව නිසි ප්‍රමිතියකින් යුක්ත මදුරු විකර්ෂක භාවිත කිරීම සඳහා සිසුන් දැනුවත් කරන ලෙසට ද අදාළ උපදෙස් මඟින් විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබේ.
පසුගිය කාලය තුළ සිදු කළ ඩෙංගු මදුරු මර්දන වැඩසටහන්වලදී පරීක්ෂාවට ලක් කළ පරිශ්‍ර අතරින් වැඩිපුරම ඩෙංගු මදුරුවන් බෝ කරන ස්ථාන ලෙස පාසල් හඳුනාගෙන ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 40ක පමණ පරිශ්‍ර සංඛ්‍යාවක් බවට හඳුනාගෙන ඇත.
එමෙන්ම රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවේදී කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය පැවසුවේ, අධ්‍යාපන අමාත්‍යාංශය ගත් ක්‍රියාමාර්ගය පෙර පාසල් දරුවන්ට විශේෂයෙන් අදාළයි. මොකද පෙර පාසල් දරුවන් සඳහාත් දරුවන්ගේ ආරක්ෂාව සඳහාත් ගන්න පුළුවන් මදුරු විකර්ෂක භාවිත කරන්න. මදුරුවන් දෂ්ටනයෙන් ආරක්ෂා වීම සඳහා ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්න කියන එක තමා දෙමව්පියන් හැමෝටම කියන්නේ. මේ අර්බුදය පාසල් තුළටත් පවතිනවා. ඉදිරි සති දෙකත් විශේෂයෙන් අවධානයෙන් පසුවිය යුතු බවයි.