බදු පැහැර හැරිය මත්පැන් නිෂ්පාදන සමාගම්වලට නඩු

බදු ගෙවීම පැහැර හැර ඇති මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් එම පැහැර හැරි බදු අයකර ගැනීම සඳහා දිසා අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇතැයි නීතිපතිවරයා ඊයේ (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.

එලෙස බදු ගෙවීම පැහැර හැර තිබෙන මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් එම බදු අයකර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවන ලද අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙලෙස දැනුම් දෙනලදි.

සංජය මහවත්ත ඇතුළු සමාජ ක්‍රියාකාරීන් පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ අතර සුරාබදු දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, ඔඩිටර් ජනරාල්වරයා සහ බදු පැහැර හැර ඇති මත්පැන් නිෂ්පාදනාගාර රැසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

මෙරට මත්පැන් නිෂ්පාදන සමාගම් 10 ක් රුපියල් කෝටි 678 කට අධික රජයට ගෙවිය යුතු හිඟ බදු සහ දඩ මුදල් රාජ්‍ය ආදායම් අහිමි වීම බරපතළ ගැටලු‍වක් බව පෙත්සම්කරුවන් පෙන්වා දී තිබේ. හිඟ බදු නොගෙවන මත්පැන් සමාගම්වල නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවීමට සහ ඒවා අලු‍ත් නොකිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව මීට පෙර පියවර ගෙන තිබූ අතර ඩබ්ලිව්.එම්.මෙන්ඩිස්, රෝයල් ඩිස්ටිලරීස්, වයඹ ඩිස්ටිලරීස් ඇතුළු ප්‍රමුඛ සමාගම් කිහිපයකටම අදාළ හිඟ බදු ගෙවා නිම කිරීමට අවසාන දිනයන් ද නියම කරනලදි.

ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගම මත්පැන් නිෂ්පාදනය වෙනුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතු සුරාබද්ද සහ ඊට අදාළව 3%ක මාසික අධිභාරය ඇතුළු රුපියල් බිලියන 5.7ක හිඟ බදු මුදල ගෙවීම පැහැරහැරීම හේතුවෙන් එම සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව 2024 දෙසැම්බර් 05 වැනිදා පියවර ගන්නා ලදී.

කාලීන පුවත්