මහ බැංකු අධිපතිට හිටපු මහ දිසාපති වරයකු ගෙන් ෆේස් බුක් පෙත්සමක්

වීරසිංහ මැතිතුමා,
ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මධ්‍යම බැංකුවේ අධිපති හා මුදල් මණ්ඩලයේ සභාපති , ශ්‍රී ලංකා මධ්‍යම බැංකුව, ජනාධිපති මාවත කොළඹ 1
ගරු කටයුතු මැතිතුමනි;

ජන හද හඳුනනවාය කියා රටේ ජනතාව රවටමින් ජනහදවත් අක්‍රිය කිරීමේ සූක්ෂම ක්‍රියා මාර්ගයක නිරතව සිටින බැංකුවක් ගැන පැමිණිල්ලයි.

වහෙන් ඔරෝ නැතුව කෙලින්ම කාරණයට බැස්සොත් ලියන්න තියෙන්නේ රටේ මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය අඩුකරද්දී ජන හද හඳුනනවාය කියන මේ බැංකුව විශ්‍රාමිකයින්ගේ ණය පොලී අනුපාතය ජුනි මස සිට වැඩි කරනු ලැබ ඇති බව ය.අවුරුදු 36කට ආසන්න අවංක රාජ්‍ය සේවයකින් පස්සෙ විශ්‍රාම ගිය මට ලැබෙන්නේ රුපියල් අසූ අට දහසක විශ්‍රාම වැටුපකි. ඒකට “කාක දීමනාව” ලෙස එකතු වූ පන්දාහත් සමග අනූ තුන්දහසකි.මේකෙන් තව ණයකුත් ගන්න සිද්දවුණේ යන්න එන්න වාහනයක් ගන්න ඕනෑ වුණු නිසා ය රස්සාවේ ඉන්න කාලෙත් ණය ගනුදෙනු කර පුරුදු ඔය ජන හද හඳුනනවාය කියන බැංකුවම ඒකට තෝරා ගත්තේ වැඩේ පහසු නිසා ය.මම අවුරුදු දහයකින් ගෙවන්න ලක්ෂ තිහක් ගත්තෙමි. තරමක් පරණ වාහනයක් ද මිලදී ගත්තෙමි.ණය වාරිකේ හතලිස් තුන් දාස් ගණනකි.ඒකත් ගෙවාගෙන ඉතිරි පනස් දාහෙන් ජීවත් වෙන්නට හැකියාව තිබුණි.ඒඇරත් ඒ වන විටත් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් තුමා විශ්‍රාම වැටුප 2020 ජනවාරි සිට තව රුපියල් දහ දාහක් විතර වැඩිකර ගෙවන බවට පොරොන්දු වූ ලිඛිත ප්‍රදාන පත්‍රයද මා ළඟ තිබුණි.ඒ නිසා අද බැරිනම් හෙට හෝ එයත් ලද පසු ජීවිතය තවත් පහසුවනු ඇතැයි සිතා අණන සුඛය පිළිබඳ අපේක්ෂාව සිඳ ගත්තෙමි. කොහොම නමුත් එය දුන්නෙත් නැත. ඒගැන දුකක් තිබුණත් එහෙමට ලොකු ආරෝවකුත් නැත. ඒ රටටම හෙණ ගසා ලක් අම්මා මැරෙන්න පණ අදිද්දී මට දෙන කිරිටික මදියි මීට වැඩිය දෙන්න පොරොන්දු වුනා කියා හිරිහැර කිරීම නරක බව දන්නා නිසා ය.කොච්චර අමාරු වුණත් මේ ඉතුරු සොච්චමෙනුත් රට ගොඩ ගන්න යමක් ඕනෙ නම් ඒකත් දී කුසගින්නේ මැරෙන්න උනත් දැන් අපිට බැරිකමක් නැත.එසේ කියා ඉතුරුවෙන තුට්ටු දෙක මංකොල්ල කාගන්නට චෞරයින්ට බිලියන ගණන් ණයදී අත ඇරදමන සූර චෞර බැංකුවකට ඉඩ දීමට නම් මට පුලුවන් කමක් නැත.

මා ණය ගත් 2020 තිබූ පොලී අනුපාතය 14%කි. ඊට පසු 9%ට එය අඩුවු ණත් වාරිකය අඩුකරන ලෙස මා ඉල්ලුවේ නැත.ඒ එකඟ වූ දේ වෙනස් කරන ලෙස ඉල්ලීම ශීලාචාර මිනිසෙකුට නුසුදුසු නිසා ය .බොහෝ ගනුදෙනු කරුවන් එසේ විචල්‍ය පොලී අනුපාතය ට හැරී වාසියක් ලද්දෝය.මා ගත් ණය මුදලේ වාරිකය මගේ ඉතුරුම් ගිනුමෙන් අඩුකරන දිනය සෑම මසකම 22 දින ලෙස සඳහන්ව තිබුණි.කලක් එලෙස නියමිත දින වාරික අඩුකරමින් සිට හිටි හැටියේ මාසේ 7වෙනිදාට වාරික අඩුකිරීම පටන් ගති.විශ්‍රාමිකයින්ගේ මාසික වැටුප රජයෙන් ගෙවන්නේ 10වෙනිදා ය .වාරිකය ඊටපෙර අඩුකරන්නේ ඇයි දැයි ඇසූ විට “අපේ මැනේජ්මන්ට් එකේ තීරණයක්” යැයි උජාරුවෙන් උත්තර ලැබුණි.මාසේ කවදා ගෙව්වත් ගත් ණය ගෙවන්න ඕනේනෙ යැයි සිතා මා ඒකට ද මොකුත් කිව්වේ නැත.හැබැයි වාරිකය අය කරන දිනය වෙනස් වන විට ගනුදෙනු කරුවාට එය දැනුම් දීමේ අවශ්‍යයැයි මේ කාලකන්නි ආයතනයේ අය දැන සිටියේ නැත.අද දින බලන විට මගේ ණය වාරිකය රුපියල් හතලිස් හත්දාස් ගණනකට ඉහළ නංවා තිබේ.ඒගැන කිසිම අවස්ථාවක මාදැනුවත් කළේ නැත.එහෙම දැනුම් දීම අවශ්‍ය යැයි මේ ආයතනය පාලනය කරන අශිෂ්ටයෝ නොදනිති.දැන් මගේ විශ්‍රාම වැටුපෙන් භාගයකට වැඩිය මේ ජන හද හඳුනන චෞර ආයතනය මංකොල්ල කෑම අරඹා ඇත.මේ මංකොල්ලකාරී තීරණයත් අර “මැනේජ්මන්ට් එකෙන්ම” ගත් එකක් වන්නට ඇත.මේ දිනවල චිර ප්‍රසිද්ධියට පත්වී ඇති කුප්‍රකට ගමගේ ගේ කොම්පැනි ජාලයට දුන් ණය බිලියන ගාණක් අත ඇරියේත් ඒ “මැනේජ්මන්ට් එකේ”ම එවුන් විය යුතු ය.

මේ අපූරු මැනේජ්මන්ට් එක කවුදැයි බැලීමි මුදල් මණ්ඩලේ නිල සාමාජික මහා භාන්ඩාගාරයේ ලේකම්ගේ නියෝජ්තයෙකුත් මේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලේ අසුන්ගෙන සිටී.තමාගේ ප්‍රධානියා සාමාජිකත්වය දරණ මුදල් මණ්ඩලය ප්‍රතිපත්ති පොලී අනුපාත අඩු කරාම භාණ්ඩාගාර ලොක්කාගේ නියෝජනය කරන එකෙකුට ජනහද හඳුනනවාය කියන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලේ වාඩිවී ණය පොලිය වැඩි කිරීමට තරම් ඇති අයිතිය විස්මය ජනක ය. නියෝජිතයා ලොක්කාගේ ප්‍රතිපත්තියට වත් ගරු නොකරන අංකුට්ටෙක්ද?නැත්නම් මණ්ඩලේ වාඩිවී ඉඳගෙන කේක් කෑල්ලත්, කජු පීරිසියත් කකා ඔලුව හොලමින් සිට වාඩිවී සිටීමේ ගාස්තුව අරගෙන ගෙදර යන එකෙක්ද? කියා සොයා බැලිය යුතු නේද? ඔය ජන හද හඳුනනවාය කියන බැංකුව ආණ්ඩුවට අයිති එකක් නිසා ඒකෙ වැඩ කටයුතු ගැන උත්තරීතර පාර්ලිමේන්තුවට වග කියන්නේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා ලෙස මුදල් මණ්ඩලයේ නිල සාමාජිකත්වය දරණ භාණ්ඩාගාර ලේකම්වරයාම නේද?ඔබතුමාගේ නායකත්වයෙන් රැස්වී ප්‍රතිපත්ති පොලී අනුපාතය අඩුකරපුවම බැංකු කලමනා කරන මණ්ඩල රැස්වී ඊට සාපේක්ෂව තම තමන්ගේ පොලී අනුපාතවල ගැලපීම් කරනවානේද? එහෙව් එකේ මුදල් මංඩල සාමාජිකයෙකු විසින් ප්‍රධාන ගණන් දීමේ නිලධාරි ලෙස පාර්ලිමේන්තුවට වගකීමට බැඳී සිටින බැංකුවක කලමනාකරණයේ ලොක්කන් තැන්පත් පොලී අනුපාත අඩු කර ණය පොලී අනුපාත වැඩිකරන කොට මුදල් මණ්ඩලය කලේ මොකක්ද කියා කෝප් එක හෝ රාජ්‍ය මුල්‍ය කාරක සභාව හෝ ආංශික අධීක්ෂණ කාරක සභවකදී ගරු මන්ත්‍රීවරයෙකු ප්‍රශ්න කලොත් මුදල් මණ්ඩලයේ සභාපති ලෙස ඔබතුමා අපහසුතාවයට පත්වෙන්නත් ඉඩ තියෙනවා නේද?අයි එම් එෆ් එකටත් උත්තර දුන් මට ඕවත් කජුදැයි කියා ඔබතුමා නොසිතන බව නම් මට විශ්වාසය. ඒ නිසා ආර්ථික අර්බුදයෙන් රටම ගොඩට ඇදීමේ ගෞරවයේ හිමිකරුවෙක් ලෙස ජනතාව හඳුන්වන ඔබතුමා සාධාරණ මනුස්සයෙක් ලෙස මේ ජනහද හදුනනවාය කියමින් රටේ මුදල් මණ්ඩලයේ තීරණ වලට පටහැනිව රජයේ ගෞරවයට හානිකර ලෙස රටේ මුදල් අමාත්‍ය වරයා ද වන අතිගරු ජනාධිපති තුමාගේ දර්ශනයට හානිකර ලෙසට ද ක්‍රියාකර ඇති ජනහද හඳුනනවාය කියමින් ජනහදට පිහියෙන් අනින මූල්‍යායතනය ගෙන ඇති අන්ත නෝමතික අයුක්ති සහගත අසාධාරණ නීත්‍යානුකූල නොවන සදාචාරවත් නොවණ ණය පොලී වැඩි කිරීමේ තීරණය නතර කරවන ලෙස ඉල්ලා සිටිමි. නොඑසේ නම් මේ ණයෙන් නිදහස් වීමට අපේ රටේ විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ පිහිට ලබා ගැනීමට මට සිදු වනු ඇත.

එතුමා ස්වයංභූ ඥාණයෙන් නියම කර ඇති හැම අවුරුද්දකම දියයුතු ජීවත්ව සිටින බවට වන සහතිකය නුදුන්නොත් විශ්‍රාම වැටුප් ව්‍යවස්ථාවේ මොනවා තිබුණත් සැනෙන් විශ්‍රාම වැටුප අත්හිටුවීමට පැකිලෙන්නේ නැත. මා ග්‍රාම නිලධාරි ලඟට ගොස් ජීවත්ව සිටින බව ඔප්පු කලේ නැත්නම් මාව බලෙන් ගෙනිහින් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් තුමාට පෙන්නුවත් එතුමා සලකන්නේ මම මිය ගොස් ඇතැයි කියා ය. එවිට ජනහද හදුනන එකාගේ බැංකුවට මගේ විශ්‍රාම වැටුප නොලැබේ .එවිට ජනහද හඳුනන එකාට සිදුවන්නේ මගේ ණයත් අර කිලුටු ගමගෙයා ගේ සමූහ ව්‍යාපාරයේ ණය වගේ ප්‍රසිද්ධියේ අක්‍රිය කර රහසින් බොල් ණය කිරීමටයි.අනික් අතට මම සාමාන්‍ය මිනිහෙක් නිසා ණය අයකර ගන්න උසාවි ගියොත් සාමාන්‍යයෙන් අවුරුදු අටක් දහයක් ඒ නඩුව විභාග වෙන්න ගතවෙන නිසා ණය අය කරගන්න වෙන්නේ මිනිය වෙන්දේසි කර මිස අන් ලෙසකින් නොවේ. මේ විකල්පයනුත් සියල්ල සලකා බලා කවුරුත් බේරෙන ලෙසට සාධාරණව මේ ගැටලුවට මැදිහත්වන ලෙසට ගරු ඔබතුමාගෙන් ඉල්ලා සිටීමට තීරණය කලෙමි.

එතෙක් සාමාන්‍ය මනුස්සයෙකු ලෙස මට කළ හැක්කේ මේ තීරණය ගත් සභාපති ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩලයත් සාමාන්‍යධිකාරි ඇතුලු ඉහල නිලධාරි රොත්තටත් හෙණ හතම වැදී පවුල් පිටින් හැදිගෑවී යන්නට සාප කිරීම පමණි. කිසි දින කිසිම කෙනෙකුට අසාධාරණයක් කර නැති අයුක්තියක් කර නැති මගේ සාපය මුන්ට වදිනවා නියත ය. කොතරම් තිරිසනුන් වුවද මුනුත් සත්වයෝ කොටසක් නිසා මුංට හෙණ වැදී හැදිගෑවී යෑමෙන් මට ද බලවත් පාපයක් අත්වනු නිසැක ය. ඒනිසා ඔබතුමා ප්‍රමුඛ මුදල් මණ්ඩලයට මුන්ට හෙණ හත වැදී හැඳිගෑවී යෑම වලක්වාගන්නටත් පාපයක් අත්වීමෙන් මා ගලවා ගන්නටත් ශක්තිය ඇතැයි අහිංසක විශ්‍රාමිකයෙකු වන මම කල්පනා කරන්නෙමි ඔබතුමාටත් මටත් මුලු රටටමත් අයිඑම් එෆ් වර්ල්ඩ් බෑංක් හා ඒඩී බී පිහිටයි ආරක්ෂාවයි.
ඒවගත් මෙසේම;
සුනිල් කන්නන්ගර නාමධාරී විශ්‍රාමිකයා වම්හ.

(කොළඹ,රත්නපුර,අම්පාර හිටපු මහ දිසාපති සුනිල් කන්නන්ගරගේ ෆේස් බුක් පිටුවෙන් උපුටා ගන්නා ලදී)

එතෙර - මෙතෙර