මාරාන්තික උපවාසය හේතුවෙන් සුරේෂ් සලේ ජාතික රෝහලට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිවයිනේ ස්ථාන 8කදී සිදුවූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ආරම්භ කළ මාරාන්තික උපවාසය හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්ව කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබේ.සලේ මහතා දින දෙකක් තිස්සේ ආහාර සහ ජලය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරමින් මරණය ඉලක්ක කරගත් උපවාසයක නිරත වී සිටියේය. එම උපවාසය ඔහුට එල්ල වන “වද හිංසා” හා “අසාධාරණයන්ට” විරෝධය පළ කිරීම සඳහා බව ඥාතීන් ප්‍රකාශ කර ඇත.උපවාසය හේතුවෙන් දැඩි ලෙස විජලනයට ලක්ව සිටි ඔහුට රෝහල් ගත කරන අවස්ථාව වන විට හිටගෙන සිටීමට පවා ශක්තිය නොතිබූ බව බිරිඳ මනෝරි සලේ මහත්මිය මාධ්‍ය වෙත පැවසුවාය. මේ වන විට ඔහුට අත් දෙකටම සේලයින් ලබා දෙමින් ප්‍රතිකාර කරන අතර, විවිධ වෛද්‍ය පරීක්ෂණ සිදු කෙරේ. හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන ඔහුට දැඩි ආරක්ෂාවක් යොදවා ඇත.රෝහලට පැමිණි මනෝරි සලේ මහත්මිය සඳහන් කළේ, “ඔහු ඉතා අසාධ්‍ය තත්ත්වයක පසුවනවා. දින දෙකක් ආහාර හෝ ජලය බිංදුවක් පවා පානය නොකිරීම නිසා දැඩි ලෙස විජලනය වෙලා” යනුවෙනි. තම සැමියා කිසිදු ප්‍රතිකාරයක් ලබා ගැනීමට හෝ උපවාසය අත්හැරීමට කැමැත්තක් නොදක්වන බවත්, ඉතා අසීරු මානසික තත්ත්වයක පසුවන බවත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.සලේ මහතා මරණය තෙක් උපවාසය ගෙන යාමේ අරමුණින් සිය අවසන් කැමති පත්‍රය ලිවීම සඳහා නීතිඥයෙකු ගෙන්වන ලෙස ඉල්ලා ඇති බව නීතිඥවරයෙකු විසින් බලධාරීන්ට යොමු කළ ලිපියක සඳහන් වේ. එමෙන්ම මරණයෙන් පසු සිය දෑස් දන් දීමටද ඔහු කැමැත්ත පළ කර තිබේ.ඔහුගේ සෞඛ්‍ය සහ ජීවිතය සම්බන්ධයෙන් තාර්කික තීරණ ගැනීමට තවදුරටත් හැකියාවක් නොමැති බවත්, සුදුසුකම් ලත් ස්වාධීන වෛද්‍ය වෘත්තිකයන් විසින් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතු බවත්, සම්පූර්ණ පරීක්ෂාවක් සහ ප්‍රතිකාර ලබා දිය හැකි රෝහලකට හදිසි මාරුවක් අවශ්‍ය බවත් නීතිඥවරයා එම ලිපියෙන් දැනුම් දී ඇත.විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා පසුගිය පෙබරවාරි 25 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ ඔහු දින 90ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටියේය.රැඳවුම් භාරයේ සිටින සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ඉදිරි වෛද්‍ය වාර්තා අපේක්ෂාවෙන් පවතී.

කාලීන පුවත්