මිනිසත් බවේ ඛේදවාචකයක් ගැඹුරින් දුටු “පව් කාරයකු” නොවූ කවියෙක්

siril

ඕනෑම ආගමක සංස්ථා ව්‍යුහය ගොඩනැඟීමේ දී ඒ ආගමට පදනම් වන දර්ශනයට අනුගත වන, සමාන්තර වන සහ ඒ දර්ශනයට පරිබාහිර කොටස් ද යොදා ගෙන තිබෙනවා.නමුත් යම් ආගමක් දෙස විචාර පූර්වකව ලෙස බැලීම පවා “පාපයක්” සේ දකින ජනතාවක් සිටින තුරු ඒ කිසිදු ආගමක සංස්ථා ව්‍යුහයන් සම්බන්ධ ප්‍රතිසංස්කරණවාදී,ප්‍රගතිශීලී ආකල්ප ගොඩ නැඟෙන්නේ නැහැ. සිරිල් එඬේරමුල්ල කියන්නේ ශ්‍රී ලාංකේය කිතුණු ලේඛක ප්‍රජාව අතුරින් මතු වුණු පෙරැලිකාර ලේඛකයෙක්.කිතුණු ආගමික සංස්ථා ව්‍යුහය විවේචනයට ලක් කරමින් දශක ගණනාවක් තිස්සේ පුවත් පත් ඇතුළු විවිධ මාධ්‍යයන් ඔස්සේ පාඨකයන් හමුවට එන ඔහු එමඟින් කිතුණු සංස්කෘතිය විවේචනයට ලක් කරනුයේ කිතුණු දහමේ සැබෑ දාර්ශශනික හරය මනැසින් වගේම හදවතිනුත් ස්පර්ශ කරමින්.

ගුණ නුවණින් පැසුණු ජ්‍යෙෂ්ඨ පුරවැසියකු,විශ්‍රාමික විදුහල්පති වරයකු සේම ජාතික කතෝලික ලේඛක සංගමයේ සභාපති ධුරයට ද හිමිකම් කී සිරිල් එඬේරමුල්ලයන් ඉදිරිපත් කරන මේ පද්‍ය සංකල්පනය ආගමික,සංස්කෘතික පදනම ඉක්මවා යන වයෝ වෘද්ධතාව පිළිබඳ පොදු ඛේදවාචකයක් ද අපේ හදවත් තුළ ගැඹුරින්ම සටහන් කිරීමට සමත් ව ඇති බවයි අප ගේ වැටහීම.ඒ අනුව අප ඔහු කිසිසේත් පව් කාරයකු නොවන බව පවසා සිටින්නේ උත්තරීතර මනුෂ්‍යත්වයේ නාමයෙන්මයි.

දෙවියනි වරද කිම
අපගෙන් වූ ඔබට!

( මහළු පූජකාඳෝනා!)

වියපත් කතෝලික පියවරු රැසක් අද
මහළු මඩම්වල කොටු වී කුමක් වෙද
නිනව් නැතිව තනි වී වැතිරිලා ඇඳ
වහලෙ පීලි ගනිනව මක්කරන් නද

කෙනෙකු ඉන්නවා පුටුවක හිස කසමි න්
කෙනෙකු කතාවක තනිවම අත් වනමි න්
කෙනෙකු එන්නෙ කවුදැයි බලනව ගෙදරි න්
කෙනෙකු තදින් දොර වහනව මෙන් තරහි න්

සිනා පොදක් නෑ නැගෙනුයෙ කොතැනින් ත්
දෙඩුම් හඬක් නෑ ඇහෙනුයෙ හෙමිහිටව ත්
ගහක් දෙකක් ඇත මල් නෑ එකකකව ත්
එහෙම නිහැඬියාවක් නෑ කැරකොප්පුවෙව ත්

රදගුරු වරයෙකුත් ඉන්නව උඩු මහ ලේ
රතු පටි තොප්පි නෑ සරමෙන්..අත් වෙව් ලේ
ඉඳ හිට එන්නෙ වයසක කෙනෙකුයි පවු ලේ
කොහොම හිටපු අය වෙද දැක හිත ඇවි ලේ

පිරිසක් මහළු වෙද්දී තරුණන් පිරිස ක්
පූජක වෙමින් පතනව තුටු සැප දිවිය ක්
මුලදී ඔවුන් වැඩි දෙනෙකුට එය කවිය ක්
මැද දී ඔවුන් වැඩි දෙනෙකුට හුටපටය ක්

” මහළු වෙන්නෙ කලකට පෙර තරුණ අය යි
ඒ දිවි දෙ මග මිනිසුන් කා හටත් හිමි යි
මොනවා කරන්නද අපි” නායකයො අහ යි
නායකයනුත් ටික කලකදි එ තැන තම යි

පූජක වෙලා ආ දා ගම්මානය ට
මොන සතුටක් ද ගම සරසල ජය පහ ට
හැත්තෑ පහෙන් පසු තතු සඟවනු කුම ට
තනි කාමරෙයි වැසිකිළියයි හිමි ඔහු ට!

මේසය පුරා නෙක පැහැ පෙති බෙහෙත් ගොඩ යි
ලෝගුව බෝල කූඩුවෙ සිට අඬා වැටෙ යි
ටී. වී. එකත් කැඩිලා… හිත ඔහුට කිය යි
” දෙවියෝ ඔබට ළඟදිම පණිවුඩය එව යි”

කතා කරන්නට කවුරුත් නෑ අහ ළ
බොහෝ දෙනා කාමරවල දිග පළ ල
මනිමින් සිතයි “යළි ඉපදී මැඩ කුහු ළ
විවාහයක් කර ගෙන රැකගමි පවු ල”

” අතට පයට කවුරුත් නෑ දැන් අප ට
බෙහෙත් නෑනෙ ලෝකයෙ තනිකම් ලෙඩ ට
නින්ද නොයයි ඔරසන් කීවත් දිග ට
දෙවියනි වරද කිම අපගෙන් වූ ඔබ ට”

සිරිල් එඬේරමුල්ල

wall එක