මුදලිවරුන්ටත් “තමුසෙ” කී හික්කඩුවේ සුමංගල සංඝරාජ නා හිමි

අතිශය සමීපතමයන් අතර සිදු කෙරෙන සුහද කතාබහක දී හැරුණු කොට, වර්තමාන සමාජයේ එදිනෙදා භාවිත වන ආමන්ත්‍රණ අතුරින් “තමුසෙ” යන්න යමකුට නිගරු කිරීම පිණිස යොදන්නක් බව අපි කවුරුත් දනිමු. එනිසාම මෙය සණ්ඩු සරුවල් හා අඬදබර ඇති කිරීමට මුල් වන අපහාසාත්මක වදනක් බව ද පැහැදිලි ය. නමුත් ඒ සම්බන්ධයෙන් ඇතැමුන් පවසනුයේ, “තමුසෙ” යන යෙදුම “තමුන්නාන්සේ” යන වචනය කෙටි කර දැක්වීමක් බැවින් එය ගෞරවාන්විත ඇමතුමක් බවයි. ඒ අතරම, මෙම වදන පාලි භාෂාවේ “ඔබ” යන අර්ථය පළ කරන “තුම්හෙ” යන වචනය හා සම්බන්ධ බවක් ඇතැම්හු පවසති. තවත් පිරිසකගේ මතය වන්නේ මෙය ප්‍රාකෘත, සංස්කෘත හා අපභ්‍රංස යන භාෂාවල “ඔබ” යන්න සඳහා හෘදයාංගමව යෙදෙන “ත්වම්” යන්නෙහි සහ එහිම හින්දි භාෂා ස්වරූපය වන “තුම්” යන්නෙහි සිංහල ඌරුවක් බවකි. ඒ කෙසේ හෝ මේ වන විට මෙම “තමුසෙ” යන වදන යෙදෙනුයේ “තමුසෙ මහ කැත මිනිහෙක් ඕයි” වැනි අවලාද හා චෝදනා සඳහා ය.

මේ අතර, සිංහල භාෂාවේ යහපැවැත්ම සම්බන්ධයෙන් යම් අවිනිශ්චිත හා අන්තරායකාරී බවක පෙරනිමිති මීට දශක කිහිපයක සිට පහළ වෙමින් තිබේ. 1970 දශකයේ අග භාගය තෙක් සිංහ නාදයක් සේ නැඟුණු භාෂා ප්‍රේමීන්ගේ හඬ, මේ වන විට මී හඬක් සේ දුබල වෙමින් පවතින පසුබිමක මෙය වඩාත් කැපී පෙනෙයි.

“භාෂාව යනු හුදු සන්නිවේදන මෙවලමක් පමණි” යන නව ලිබරල්වාදී මතවාදය අද සමාජයේ බොහෝ දෙනකුගේ පිළිගැනීමට ලක්ව තිබේ. එනිසාම එය බොහෝ විට සිංහල භාෂාමය නීතිරීති හෝ ප්‍රමිතීන් නොසලකා හැරීම යුක්තිසහගත කිරීම සඳහා භාවිත වේ. නමුත් භාෂාවක් පිළිබඳ ගැඹුරින් විමසා බලන විට, එය සන්නිවේදනය සඳහා වන මෙවලමක් පමණක් නොවන බව පෙනේ. එය ඊට වඩා සුවිසල් සමාජමය කාර්යභාරයක් ඉටු කරන සංකීර්ණ පද්ධතියකි.

“භාෂාව යනු හුදු සන්නිවේදන මෙවලමක් පමණි” යන නව ලිබරල්වාදී මතවාදය අද සමාජයේ බොහෝ දෙනකුගේ පිළිගැනීමට ලක්ව තිබේ. එනිසාම එය බොහෝ විට සිංහල භාෂාමය නීතිරීති හෝ ප්‍රමිතීන් නොසලකා හැරීම යුක්තිසහගත කිරීම සඳහා භාවිත වේ. නමුත් භාෂාවක් පිළිබඳ ගැඹුරින් විමසා බලන විට, එය සන්නිවේදනය සඳහා වන මෙවලමක් පමණක් නොවන බව පෙනේ. එය ඊට වඩා සුවිසල් සමාජමය කාර්යභාරයක් ඉටු කරන සංකීර්ණ පද්ධතියකි.

විද්‍යෝදය පිරිවෙනේ සුමංගල නා හිමි වැඩ සිටි ගොඩනැඟිල්ල

මේ වන විට ලෝක පිළිගැනීමට ලක්ව ඇති, භාෂාව හා චින්තනය අතර පවත්නා සබැඳියාව පෙන්වා දෙන සැපීර්-වෝර්ෆ් උපකල්පනය (Sapir-Whorf Hypothesis) අනුව වුව ද පුද්ගලයකු බාහිර ලෝකය දෙස බලන ආකාරය තීරණය වන්නේ ඔහු භාවිත කරන භාෂාව අනුව ය. ඒ අනුව භාෂාව හුදු සන්නිවේදන මෙවලමක් ලෙස පමණක් සැලකුවහොත්, භාෂාව සතු මෙම රසකාමී සහ ශාස්ත්‍රීය ගුණය අහෝසි වෙයි. වර්තමානයේ ප්‍රචලිත වන SMS උපසංස්කෘතිය මඟින් දැන් එය වේගවත්ව සිදු වෙමින් පවතී.

මෙවන් පසුබිමක් තුළ අපට ඉබේම සිහිපත් වන, එසේත් නැතිනම් බලහත්කාරයෙන් හෝ සිහිපත් කරගත යුතු නාමයක් තිබේ. ඒ හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියන්ගේ නාමයයි. උන් වහන්සේගේ නාමය එලෙස සුවිශේෂ අගැයුමට ලක්විය යුත්තේ සිංහල ඇතුළු පෙරදිග භාෂා ශාස්ත්‍ර සම්බන්ධ මෑත කාලීන සුවිසල් පුනර්ජීවනයට ඉවහල් වූ මරදාන මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙන 1873 වසරේදී ඇරඹීමෙනි. ‘ඈපා ලිතේ’ නිර්මාතෘ දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමිගේ මූලිකත්වයෙන් ගොඩනැඟුණු මෙම පිරිවෙන පිහිටා ඇති ඉඩම සම්බන්ධයෙන් කරුණු දක්වන ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, උපාධ්‍යාය පණ්ඩිත යගිරල ශ්‍රී ප්‍රඥානන්ද මාහිමියෝ ‘ශ්‍රී සුමංගල චරිතය’ නමැති කෘතියෙහි මෙසේ පවසති:

“මේ ස්ථාන ලාභය නම් ලන්සගේ අන්ද්‍රිස් පෙරේරා අප්පුහාමි (පසුව අන්ද්‍රිස් පෙරේරා ධර්මගුණවර්ධන මුහන්දිරම් මහතා) ගේ පරිත්‍යාග ගුණ මහිමය ද, දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමිගේ ඥාන මහිමය ද නිසාම ඇති වූවකි. ඉඩමේ වටිනාකම එකල තත්ත්වයේ හැටියට රු. 6,000ක් යැයි සලකන ලද නමුත් එකල පවා ඊට වඩා අගනේ ය. එහෙත් ඒ සඳහා රු. 6,000ක් තබා ඉන් අඩක්වත් සපයා ගත නොහැකි විය. සපයා ගත් තුනෙන් කොටසක් පමණක් වූ ඒ ස්වල්ප මුදල භාරගෙන ඉඩම පිරිනැමීම ඒ මහතාගේ මහා විතීර්ණයකැයි කීම නම් වැඩිකොට කීමක් නොවේ.”

පිරිවෙන ආරම්භයේදී එහි සිංහල, පාලි, සංස්කෘත භාෂා සහ බුද්ධ ධර්මයට ප්‍රමුඛ තැනක් හිමි විය. ඒ අතරේ ගිහි ශිෂ්‍යයන් සඳහා ආයුර්වේදය, ජ්‍යොතිෂය, ගණිත මිණිත විද්‍යා ආදිය ද උගන්වන ලදී. ගිහියන් පෙරවරුවේ ද භික්ෂූන් වහන්සේලා පස්වරුවේ ද පන්තිවලට ආ අතර එක් පාඩමක කාලය පැය දෙකක් විය. භික්ෂූන්ට බුද්ධ ධර්මය අනිවාර්ය වූ අතර ගිහියන්ගේ ප්‍රධාන විෂය වූයේ ආයුර්වේදය යි.

මහනුවර වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ නාහිමි යුගයේ ආරම්භ කරන ලදුව, ඒ වන විට මුළුමනින් බිඳ වැටී තිබූ මහනුවර ඇම්බැක්කේ නියමකන්ද මුල් කොට ගත් පිරිවෙන් අධ්‍යාපනය, විද්‍යොදය පිරිවෙන මඟින් නව ප්‍රතිසංස්කරණයකට ලක් කෙරුණු අතර විෂය මාලා සකස් කිරීම, ඒ සඳහා ග්‍රන්ථ නිර්දේශ කිරීම මෙන්ම ගුරුවරුන් බඳවා ගැනීම ද මුල සිටම සිදු කරන ලදී. උගතුන් ද පොතපත ද දුර්ලභ යුගයක එම කාර්යය මැනවින් ඉටු කළ සුමංගල හිමියෝ පන්සල් අධ්‍යාපනයෙහි එතෙක් නොපැවති වාර්ෂික පරීක්ෂණ පැවැත්වීමේ ක්‍රමයක් විද්‍යොදය පිරිවෙනෙහි ඇති කළහ. පිරිවෙනෙහි සියලු ආචාර්යවරු භික්ෂූහු වූහ. නමුත් උන් වහන්සේලාට වැටුප්, දීමනා හෝ වෙනයම් වරප්‍රසාද හිමි නොවූ අතර විද්‍යොදය පිරිවෙන ආරම්භයේ සිටම ඒ වටා ඒකරාශී වූ ප්‍රභූ පිරිස් උන් වහන්සේලාට සිවුපසයෙන් සංග්‍රහ කළහ.

පසුකාලීනව විද්‍යොදය පිරිවෙනේ ශාස්ත්‍රීය ප්‍රතාපය කෙතරම් ඉහළ නැංවී තිබිණි ද යත්, එහි ස්වේච්ඡාවෙන් ගුරු පදවියක් දැරීමට එවක වැඩ සිටි ධර්මධර හා විනයධර භික්ෂූන් අතර තරඟයක් පවා පැවැති බව කියනු ලැබේ.

විද්‍යොදය පිරිවෙන ආරම්භ කිරීමේදී ශිෂ්‍ය ප්‍රමාණය එතරම් විශාල නොවී ය. එහි මුල්ම ශිෂ්‍යයන් වූයේ ලබුගම සොණුත්තර, පොකුණුවිට රේවත, හෙයියන්තුඩුවේ දේවමිත්ත, ඉලුක්වත්තේ මේධංකර, අලුත්කුරුවේ සිද්ධත්‍ථ, බූස්සේ ඤාණානන්ද, කිරිමැටියානේ ධම්මාරාම, කූරගල පියරතන යනාදී භික්‍ෂූන් වහන්සේලා ද, විස්සක් පමණ වූ ගිහි ශිෂ්‍යයන් ද බව සඳහන් වේ. ඉතා කෙටි කලක් තුළ විදෙස් රටවල පවා විද්‍යොදය පිරිවෙනෙහි කිතුගොස පැතිර යත්ම එම රටවලින් ද ශිෂ්‍යයන් ථේරවාදී බුදු දහම ඉගෙන ගැනීම සඳහා පැමිණ තිබේ. ඔවුන් අතර භාරතීය බ්‍රාහ්මණ පඬිවරුන් ද හිඳීම සුවිශේෂ සංසිද්ධියකි. එමෙන්ම එංගලන්තය ආදී යුරෝපා රටවල රාජකීයයෝ ද, පෝල් ඩාල්කේ, විල්හෙල්ම් ගයිගර්, රීස් ඩේවිඩ්ස්, මැක්ස් මුලර්, එඩ්වින් ආර්නොල්ඩ් සහ කොපල්ස්ටන් බිෂොප් ආදී ලෝක ප්‍රකට ගිහි පැවිදි උගත්හු හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් ඉතා ඉහළින් පිළිගත්හ; ගෞරව කළහ. එමෙන්ම එවක ඉංග්‍රීසි ආණ්ඩුව විසින් ප්‍රධාන පූජක (High Priest) හෙවත් සංඝරාජ නමින් පිළිගත් එකම බෞද්ධ හිමි නම ද උන් වහන්සේ ය.

ඒ අතරේ ‘සුබෝධිකා බාලාවතාර ටීකාව’, ‘සිදත්සඟරා සන්නය’, ‘සිංහල මහාවංශය’, ‘බ්‍රාහ්මණ ධර්මය’, ‘වර්ණ රීතිය’, ‘සමය සංග්‍රහව’, ‘කාව්‍යශේඛර ව්‍යාඛ්‍යාව’, ‘සංස්කෘත සන්ධි ග්‍රන්ථය’, ‘මාසර්තු ලක්ෂණය’, ‘පාලි වරනැගිල්ල’, ‘සීමා විභාගය’, ‘දෛවඥෝපදේශය’, ‘සන්දේශ කථා’, ‘ස්‍යාමනිකාය දීපනී’, ‘ශබ්දමුක්තාවලිය’ වැනි ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ රාශියක් මඟින් සිය ධර්ම ශාස්ත්‍රීය ප්‍රතාපය පළ කළ සුමංගල හිමිපාණෝ පෞද්ගලිකව ඉතා සරල අල්පේච්ඡ ශ්‍රමණ දිවි පෙවෙතක් ගත කළහ.

විද්‍යොදය පිරිවෙන ඉතා කෙටි කලක් තුළ ජාතික සේම ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත්වීමත් සමඟ එවක දේශීය ප්‍රභූන් රැසක් එහි මුල් පෙළේ දායකයන් වූ මුත් සුමංගල නාහිමියෝ වර්තමාන ඇතැම් භික්ෂූන් මෙන් එම ප්‍රභූන් සතු ධනය, බලය හෝ කීර්තිය ආදී කිසිවක් නොතැකූහ. උන් වහන්සේ ඔවුන් බොහෝ දෙනකු ආමන්ත්‍රණය කරන ලද්දේ “තමුසේ” යනුවෙනි. එමෙන්ම අද මෙන් විද්‍යුත් සන්නිවේදන සිහිනයක්වත් නොදැක තිබූ එවක සමාජයේ ප්‍රධාන අන්තර් හුවමාරු සන්නිවේදන මාධ්‍යයක් වූයේ ලිපියයි. ඒ අනුව සුමංගල නාහිමියන් ද නිතර ලිපි මඟින් ගනුදෙනු කළ අතර ඒ ලිපි අදාළ පුද්ගලයන් අතට පත් කිරීම පිණිස උන් වහන්සේ සිය කැපකරු වූ අප්පු සිංඤෝට දුන් බව පැවසෙයි. ඒ ලිපි බොහොමයක ද එම ප්‍රභූන් “තමුසෙ” ලෙසින්ම ආමන්ත්‍රණය කොට තිබිණි.

විද්‍යොදය පිරිවෙන ඉතා කෙටි කලක් තුළ ජාතික සේම ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත්වීමත් සමඟ එවක දේශීය ප්‍රභූන් රැසක් එහි මුල් පෙළේ දායකයන් වූ මුත් සුමංගල නාහිමියෝ වර්තමාන ඇතැම් භික්ෂූන් මෙන් එම ප්‍රභූන් සතු ධනය, බලය හෝ කීර්තිය ආදී කිසිවක් නොතැකූහ. උන් වහන්සේ ඔවුන් බොහෝ දෙනකු ආමන්ත්‍රණය කරන ලද්දේ “තමුසේ” යනුවෙනි. එමෙන්ම අද මෙන් විද්‍යුත් සන්නිවේදන සිහිනයක්වත් නොදැක තිබූ එවක සමාජයේ ප්‍රධාන අන්තර් හුවමාරු සන්නිවේදන මාධ්‍යයක් වූයේ ලිපියයි. ඒ අනුව සුමංගල නාහිමියන් ද නිතර ලිපි මඟින් ගනුදෙනු කළ අතර ඒ ලිපි අදාළ පුද්ගලයන් අතට පත් කිරීම පිණිස උන් වහන්සේ සිය කැපකරු වූ අප්පු සිංඤෝට දුන් බව පැවසෙයි. ඒ ලිපි බොහොමයක ද එම ප්‍රභූන් “තමුසෙ” ලෙසින්ම ආමන්ත්‍රණය කොට තිබිණි.

ඉහත සඳහන් කාලය වන විට කොළඹ ලෙසින් හඳුන්වන ලද්දේ කොටුව, පිටකොටුව ආදී සීමිත ප්‍රදේශ කිහිපයක් පමණි. ඒ බව එකල සමාජයේ දැන උගත් පිරිස් “කොළඹ යන ගමන්වල දී” මාලිගාකන්දට පැමිණ සුමංගල නාහිමියන් බැහැදුටු බවට පළ වූ සමකාලීන පුවත්වලින් සනාථ වේ. ඔය කියන කාලයේ මාලිගාකන්ද ප්‍රදේශයේ ‘පාම් හවුස්’ නම් මන්දිරයක් හැරුණු කොට වෙනත් විශේෂිත ඉදිකිරීම් කිසිවක් නොවූ අතර පිට පළාත්වලින් පැමිණි දුගී පවුල් කිහිපයක් එම ප්‍රදේශයේ අනවසරයෙන් පදිංචිව සිටි බව පැවසෙයි. ඒ අතරේ කිසියම් කරුණක් මත විද්‍යොදය පිරිවෙනේ ගිහි සිසුන් පිරිසක් හා එම අනවසර පදිංචිකරුවන් අතර ඇති වූ යම් සිදුවීමක් දුරදිග යාමෙන් දෙපාර්ශ්වය අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇති වී, ඒ සම්බන්ධ උපදෙස් ලබා ගැනීම පිණිස සුමංගල හිමියන් විසින් දකුණු පළාතේ වැඩ සිටි වයෝවෘද්ධ නා හිමි නමක කැඳවන ලදී. එහිදී හික්කඩුවේ සුමංගල නාහිමියන් වෙතින් එම පැමිණිල්ල අසා සිටි එම නා හිමිපාණන් පවසා ඇත්තේ “ඕකනෙ ඉතින් මම හැමතිස්සේම කියන්නේ; මේ විද්‍යොදයේ ඈයෝ ව්‍යාකරණ ඉගෙන ගත්තට රටේ ලෝකෙ ජීවත් වන්න ඉගෙන ගෙන නෑ කියලා” යනුවෙනි. එහි දී සුමංගල හිමියන් සිනාසී නිහඬ වූ අතර ඒ සම්බන්ධයෙන් කිසිවක් නොකී බව ජන ප්‍රවාදයේ එයි. මෙම රසවත් පුවත විද්‍යාධාර සභාවේ හිටපු සභාපතිවරයකු සහ ප්‍රාචීන භාෂෝපාකාර සමිතියේ හිටපු ලේකම්වරයකු වූ මුදලිඳු ඊ.ඒ. අමරසේකරයන් සිය ලියැවිල්ලක ද සඳහන් කොට තිබේ.

සුමංගල නා හිමියන් මුදලි වරයකුට යැවූ ලිපියක්

1911 වසරේ සිදු වූ හික්කඩුවේ සුමංගල හිමියන්ගේ අපවත් වීමත් සමඟ විද්‍යොදය භාෂා ශාස්ත්‍රීය ප්‍රතාපය බිඳ නොවැටී රැක ගැනීමට උන් වහන්සේගේ සඟ පරපුරේ යතිවරුන් ඉදිරිපත් වීම ද සුවිශේෂත්වයකි. ඉන් ප්‍රමුඛස්ථානයක වැජඹෙන යතිවරයාණ කෙනකු වූයේ වැලිවිටියේ ශ්‍රී සෝරත හිමිපාණන් ය. 1898 මාර්තු 18 වන දින උපත ලැබූ උන් වහන්සේ 1922 දී පැවිදි බිමට පත්ව විද්‍යොදය පිරිවෙනේ අධ්‍යාපනය ලබා, පසුව එහි කථිකාචාර්යවරයෙකු ලෙස හා එම ආයතනයේ පරිවේණාධිපතිවරයා ලෙස පත් වූහ. පිරිවෙනෙහි විෂයමාලා, පහසුකම් සහ අධ්‍යයන ප්‍රමිතීන් සංවර්ධනය කිරීමෙහිලා මූලික කාර්යභාරයක් ඉටු කළ උන් වහන්සේ එය බෞද්ධ අධ්‍යාපනය සඳහා විශිෂ්ට මධ්‍යස්ථානයක් බවට පත් කළහ. විද්‍යොදය බෞද්ධ අධ්‍යයන සඟරාව, විද්‍යොදය පුස්තකාල මාලාව සහ විද්‍යොදය පෙළ මාලාව වැනි ප්‍රකාශන කිහිපයක් ද උන් වහන්සේ විසින් ආරම්භ කරන ලදී. එමෙන්ම එදා මෙදා තුර සිංහල ශබ්දකෝෂ අතුරින් මුල් තැනක් ගන්නා සුමංගල ශබ්දකෝෂය ද සෝරත හිමිපාණන්ගේ දශක තුනක අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක් වන අතර උන් වහන්සේ එය සුමංගල ලෙසින් නම් කොට ඇත්තේ ද හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියන්ට උපහාරයක් ලෙසිනි.

පසුව 1958 විද්‍යොදය හා විද්‍යාලංකාර පනත මඟින් 1959 විශ්වවිද්‍යාලයක් ලෙස නුගේගොඩ ගංගොඩවිල දී ස්ථාපිත කරන ලද විද්‍යොදය විශ්වවිද්‍යාලයේ (1978 සිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) ප්‍රථම කුලපති පදවිය හෙබවූ වැලිවිටියේ ශ්‍රී සෝරත හිමිපාණෝ මෙරට සිංහල මාධ්‍යයෙන් පර්යේෂණ උපාධි කළ හැකි මුල්ම විශ්වවිද්‍යාලය බවට ද එය පත් කළේ හික්කඩුවේ සුමංගල නා හිමිපාණන්ගේ දැක්මට නව පුනර්ජීවනයක් ලබා දෙමිනි. ඒ අතරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා විෂය ධාරාවේ උප විෂයක් ලෙස කුඩම්මාගේ සැලකිලි ලබමින් තිබූ මානව විද්‍යාව විද්‍යොදය විශ්වවිද්‍යාලය තුළ ප්‍රධාන විෂයක් බවට පත් කළ උන් වහන්සේ, ව්‍යාපාර කළමනාකරණය නම් වන එවක එතරම් වැදගත් බවක් පළ නොකළ විෂය සඳහා විද්‍යොදය විශ්වවිද්‍යාලය තුළ මුල් වරට උපාධි පාඨමාලා ආරම්භ කරන ලදී. වත්මන් සමාජ ආර්ථික පසුබිම මත ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තුළ එම විෂය ක්ෂේත්‍රයට අතිශය ප්‍රශස්ත මට්ටමක් හිමි ව ඇතත්, වත්මන් සමාජ සංස්කෘතික පසුතලය යටතේ අප රටේ ප්‍රධාන භාෂාවට එවන් සුවිශේෂත්වයක් ලබා දීමට නොහැකි වීම ජාතික ඛේදවාචකයකි.

තිලක් සේනාසිංහ

උරුමයක අසිරිය