මෙක්සිකෝවෙන් හමු වූ පිටසක්වල ජීවියා ‘චේතිය රජ්ජුරුවන්‘ගේද?

meksico

පසුගිය දින ගණනාව මුළුල්ලේ ම ලොව පුරා ආන්දෝලනයක් ඇති කළ කාරණයක් වූයේ මෙක්සිකෝවෙන් හමු වූ පිටසක්වළ ජීවීන්ගේ යැයි සඳහන් කරමින් අනාවරණය කරන ලද දේහයන් ය. මිනිස් සිරුරකට වඩා කුඩා දේහයන් වූ මේවා මෙක්සිකෝවේ නැස්කා ප්‍රදේශයෙන් හමු වූයේ යැයි පවසනු ලැබිණි. මෙය ලොව ඉදිරියේ අනාවරණය කළ ආකාරය තුළ ද විශේෂත්වයක් විය. මෙක්සිකෝ කොංග්‍රස් මණ්ඩලය ඉදිරියේ මෙය ප්‍රදර්ශනය කරවූයේ යම් කිසි නව උපකරණයක් පාරිභෝගිකයන්ට මුලින්ම හඳූන්වා දීමක් හෙවත් ‘අන්බොක්සිං’ (Unboxing) ආකාරයකට ය. කෙසේ නමුත් මේ සිදුවීමේ ආරම්භයේ සිටම මේ සම්බන්ධව උනන්දුවක් දක්වන්නන් තුළ ඒ පිළිබඳ ඇති වූයේ විස්මයකට වඩා සැක සහිත බවකි.

මෙක්සිකෝ කොංග්‍රස් මණ්ඩලය ඉදිරියේ මෙය ප්‍රදර්ශනය කරන්නට මූලික ව ක්‍රියා කරන ලද්දේ පිටසක්වළ යානා පිළිබඳ විශේෂඥයකු, මාධ්‍යවේදියකු සහ මෙක්සිකානු රූපවාහිනී වැඩසටහනක් වූ Tercer Milenio ඉදිරිපත් කරන ජෙයිම් මවුසාන් විසිනි. ඔහු මෙයට පෙර ද පිටසක්වළ යානා පිළිබඳ වැඩසටහන් ඉදිරිපත් කළ අයකු ලෙස ප්‍රේක්ෂකයන් අතර ප්‍රකට චරිතයකි.

මේ පිටසක්වළයන්ගේ දේහයන් අනාවරණය කරන්නට පෙර මෙක්සිකෝ පාලන පක්ෂය වූ මොරේනා හි නියෝජ්‍ය නායක සර්ජියෝ ගුටියරෙස් ලූනා සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේ තමා සත්‍යයම පවසන බවට දිවුරා ප්‍රකාශ කළ යුතු බව ය. මේ සිදුවීම දැක බලා ගැනීම සඳහා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ගුවන් හමුදාවේ විශ්‍රාමික ලුතිනන්වරයකු වූ රයන් ග්‍රේව්ස්, හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂවරයකු සහ තාරකා භෞතික විද්‍යාඥයකු වූ ඒබ්‍රහම් ලියොබ් ද පැමිණ සිටියහ. වසර දහසක් පමණ පැරණි යැයි පැවසුණු මේවා ඉදිරිපත් කරන ලද්දේ සුවිශේෂ පුරාවස්තූන් ලෙසිනි. මේ දේහයන් වසර ගණනාවක් පුරා සුරක්ෂිතව පැවතියේ ඒවා මමිකරණයට ලක් ව තිබූ නිසා යැයි පවසනු ලැබිණි. කෙසේ නමුත් මේවා සැබෑ පිටසක්වළ ජීවීන් යැයි මොහොතකට සිතුව ද බොහෝ නිරීක්ෂණයන්ට අනුව අනාවරණය වූ දෙයක් වූයේ වෙනස් පෙනුමක් ලබා ගැනීම සඳහා ඒවා යම් වෙනසකට ලක්කොට තිබූ බව ය. ඒ නිසාම ඒවායේ අව්‍යාජත්වය ‘මමි අධ්‍යයනය පිළිබඳ ලෝක කමිටුව’ (World Committee on Mummy Studies) විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිණි. ඔවුන් පැවසූයේ මෙය වැරදි තොරතුරක් සමාජ ගත කිරීමේ අරමුණ ඇතිව කරන ලද වගකීම් විරහිත සංවිධානාත්මක වැඩසටහනක් බව ය.

අනෙක මේවා ලෝකය හමුවේ ඉදිරිපත් කරන්නට මුල් වූ මාධ්‍යවේදී ජෙයිම් මවුසාන් ද විශ්වාස කටයුතු පුද්ගලයකු නොවේ. ඔහු මෙයට පෙර ද පිටසක්වළ කාරණා ඉදිරිපත් කරන්නට ගොස් ඒවා සැබෑ ඒවා නොවන බවට තහවුරු වී විශ්වසනීයත්වය අහිමි කර ගත් පුද්ගලයකු විය.

මෙහි දී මමිකරණයට ලක් වූ දේහ දෙකක් ඉදිරිපත් කරනු ලැබුණි. මේවා 2017 වසරේ දී ඉපැරණි නැස්කා පුරා විද්‍යා භූමියේ දී සොයා ගත් ඒවා යැයි පවසනු ලැබේ. පිටසක්වළ ජීවී පවුලක් ලෙස ඉදිරිපත් කරන ලද මේ දේහ අවට විනාශයට පත් වූ පිටසක්වළ යානයක එක් සුන්බුන් කැබැල්ලක් හෝ සොයා ගන්නට නො හැකි විය. මේ පිටසක්වළයන් යුවළක් ලෙස හඳුන්වා දී ඔවුන් ‘ජොසපිනා’ සහ ‘ඇල්බර්ටෝ’ ලෙසින් නම් කොට තිබිණි. ‘ජොසපිනා’ යන ස්ත්‍රී නාමය යොදන්නට හේතුව වූයේ ඒ සිරුර එක්ස් කිරණ පරීක්ෂණයකින් එය තුළ බිත්තර තුනක් දකින්නට හැකි වූ නිසාය. එමෙන්ම මේ ස්ත්‍රී පිටසක්වළ දේහයේ පපුව මත සැක කටයුතු ලෝහ පටි ද සවි කොට තිබූ බව දකින්නට ලැබුණි.

කෙසේ වෙතත් මේ සමස්ත සිදුවීම ‘ව්‍යාජ’ එකක් ලෙස මේ වන විට හෙළිදරව් වී තිබේ. මේ සිදුවීමත් සමග මතු වෙමින් යට යමින් පැවති පිටසක්වළ ජීවය පිළිබඳ කාරණය පිළිබඳ ලොව පුරාම නැවත කතා කරන්නට පටන් ගෙන තිබේ. සැබවින්ම පිටසක්වළ ජීවයක් තිබේද? මෙය වසර ගණනාවක් තිස්සේ අප අපගෙන් ම අසා ගත් ප්‍රශ්නයකි. මේ විශ්වයේ අප සිටින්නේ තනිවම ද යන ගැටලුව බොහෝ කාලයක් තිස්සේ මිනිසා ඉදිරියේ ඉතිරිව තිබිණි. පිටසක්වළ ජීවයක් පිළිබඳ මිනිසා තුළ කෙමෙන් අදහස් පහළ වන්නට පටන් ගැනුණේ ඒ සමග ය. එමෙන්ම පැරණි ශිෂ්ටාචාරවලින් ලැබෙන ඉපැරණි වාර්තාවල ද මේ සම්බන්ධව යම් යම් කාරණා ඇතුළත් වූ නිසා මේ ‘පිටසක්වළ ජීවි කල්පිතය’ කෙමෙන් මිනිස් සමාජය තුළ ස්ථාවරත්වයට පත් විය.

ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවට අයත්, ලෝකයේ කිසිදු පුද්ගලයකුට කුමන හේතුවක් මත හෝ ප්‍රවේශ වන්නට තහනම් ඒරියා 51 කලාපය, එක්ස් ෆයිල්ස්, ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ වැනි ඇමරිකානු පාර භෞතික රූපවාහිනී කතා මාළා සහ චිත්‍රපට නිසා ද බහුතරයක් තුළ පිටසක්වළ ජීවය පිළිබඳ විශ්වාසයක් ගොඩ නැගී තිබිණි. විශේෂයෙන් ඒරියා 51 ප්‍රදේශය ලොව පුරා ප්‍රකට වී ඇත්තේ පිටසක්වළයන් සමග සබඳතා පවත්වන, ඔවුන් සහ මිනිසුන් එක් වී විවිධ පර්යේෂණ පවත්වන දැඩි රහසිගත ස්ථානයක් ලෙසිනි. නමුත් ඇමරිකානු රජය එවැන්නක් පවසන්නේ නැත.

පිටසක්වළයන්ගේ ස්වරූපය විවිධ ආකාරවලින් නිරූපණය වී තිබුණ ද ඇමරිකානු චිත්‍රපටයක් වූ ‘ඊ.ටී.’ හි ඇතුළත් පිටසක්වළ චරිතය සමග මිනිසුන් තුළ ඒ ස්වරූපය ස්ථාවර විය. ඉන් පසු ලොව පුරා තනන ලද බොහෝ චිත්‍රපටවල පිටසක්වළ ජීවියෙක් ලෙස පෙන්වන ලද්දේ මේ ස්වරූපයට සෑම අතින් ම සමාන රූපයකි. හින්දි චිත්‍රපටයක් වූ ‘කොයි මිල් ගයා’ ද දිව යන්නේ පිටසක්වළ ජීවියෙක් වටා ය. ‘ජාදු’ නම් වූ ඒ ජීවියා ද යට කී ස්වරූපයෙන් ම ඉදිරිපත් කොට තිබිණි. මෙවැනි කාරණා නිසා මිනිසුන් අහස දෙස බලා සිටියේ තමා සොයා ගෙන තවත් ‘ජාදු’ කෙනෙක් පැමිණේ යැයි සිතාය.

පිටසක්වළ ජීවය කුමනාකාර විය හැකිද? ඉහත කී ආකාරයේ චිත්‍රපට, ඒ හා බැඳුණු වෙනත් කාරණා නිසා අප තුළ යම්කිසි ස්වරූපයක් ඒ සම්බන්ධව තැන්පත් වී තිබේ. කෙසේ නමුත් විද්‍යාඥයන්ට අනුව පිටසක්වළ ජීවයක් පවතින්නේ නම් එය මිනිස් ස්වරූපයෙන් ම පැවතිය යුතු නැති අතර එසේ නොවන්නට ද සෑම අතින් ම ඉඩ තිබේ. ඒක සෛලික බැක්ටීරියාවක් යනු ද ජීවයකි. ඇතැම් විට එවැනි ජීවී විශේෂ මේ විශ්වයේ තිබෙන්නට පුළුවන. පෘථිවියට සෑම අතින් ම සමාන සිකුරු ග්‍රහයා මත එවැනි ස්වභාවයක ජීවයක් පවතින්නට ඉඩ ඇති බව විද්‍යාඥයෝ විශ්වාස කරති. එහි ඇති අධික උණුසුම් ස්වභාවය සහ අධික කාබන්ඩයොක්සයිඩ් සංයුතිය එවැනි ජීවයක් නිර්මාණය කරන්නට අවශ්‍ය සාධක සපයයි. ඊට අමතරව අප සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන්ට අයත් ඇතැම් චන්ද්‍රයන් තුළ ද ජීවයක් ඇති වන්නට අවශ්‍ය මූලික සාධක යම් පමණකින් පවතින බැව් සොයා ගෙන තිබේ. නමුත් ඒ එකක හෝ බැක්ටීරියාවක තරම් වත් දෙයක් ඇතැයි තවමත් නිල වශයෙන් සොයා ගන්නට හැකි වී නැත.

නමුත් මේ අනන්ත විශ්වයේ අප හා සමාන තවත් සෞරග්‍රහ මණ්ඩල සහ ග්‍රහලෝක නො පවතින්නේ යැයි පැවසීම තර්කානුකූල නොවේ. එය තර්කානුකූල නොවුණු පමණින් පිටසක්වළක ජීවයක් පවතින්නේ ය යන්න තහවුරු වන්නේ ද නැත. පිටසක්වළ ජීවය පිළිබඳ මිනිසුන් තුළ අදහසක් ස්ථාවර කරන්නට ඇමරිකාවට තදබල ඕනෑ කමක් ඇති බව බොහෝ කාරණාවලින් පෙන්නුම් කරයි. එහි රොස්වෙල් ප්‍රදේශයට කඩා වැටුණු පිටසක්වළ යානය, එයින් හමු වූ පිටසක්වළ දේහ, ඒවා විච්ඡේදනය කරන ආකාරය පිළිබඳ රහස් වීඩියෝ ජනතාව අතරට පැමිණියේ යැයි ප්‍රචාර ගෙන යාම ආදිය පිළිබඳ විචාරාත්මක ව සිතන විට ඇති වන්නේ සැක සහිත බවකි. ඔවුන් සිය දැවැන්ත අනාගත සැලසුමක් සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් පිටසක්වළ ජීවය පිළිබඳ කල්පිතය ලොව පුරා ව්‍යාප්ත කළා වන්නට ද හැකියාවත් ඇති බව බොහෝ දෙනෙක් පවසති.

කෙසේ නමුත් සැබෑ දත්ත මද පදනම් ව සිදු කරන ලද සෑම පර්යේෂණයකින් ම එකහෙලා ඉදිරිපත් කරන නිගමනය වන්නේ මෙතෙක් ස්ථිර වශයෙන් ම පිටසක්වළ ජීවයක් තහවුරු වී නැති බවය. එවැනි ජීවයක් පවතින්නේ නම් ඔවුන්ගෙන් අපට ප්‍රතිචාර ලැබීම පිණිස වසර ගණනාවකට පෙර අභ්‍යවකාශයට මුදා හළ සංඥා ගණනාවකි. මේ වන විට ද එවැනි සංඥා නිකුත් කරමින් පවතී. නමුත් මෙතෙක් ඒවාට ප්‍රතිචාර ලැබී නැත. පිටසක්වළ ජීවයක් නොමැති නිසා එවැනි සංඥාවකට ප්‍රතිචාර නො ලැබෙන බව හෝ ජීවය පවතින්නේ ආලෝක වර්ෂ ගණනාවකට ඔබ්බෙන් නිසා ඒවාට ප්‍රතිචාර ලැබෙන්නට පවා තවත් සියවස් ගණනක් බලා සිටිය යුතු නිසා හෝ වන්නට පුළුවන. පිටසක්වළ ජීවයක් සොයා ගැනීම පිණිස කරන ලද පර්යේෂණ බොහොමයකි. ඒ වෙනුවෙන් ම අභ්‍යවකාශයට පිටත් කරන හරින ලද යානා ගණනාවකි. නමුත් තවමත් අපට විශ්වසනීයත්වයකින් ඒ සම්බන්ධව පැවසිය හැකි සාධක ලැබී නැත. නමුත් ඒ නිසාම ඉදිරි කාලයේ දී පවා පිටසක්වළ යානා දැකීම, මෙවැනි සිරුර හමුවීම නැවතේ යැයි විශ්වාස කළ නො හැක.

 

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර