මේකත් හොඳ තත්ත්වයක් නොවේ

පොළොවට එළිය වැටෙන විට රටේ “මොනවා වෙලාදැයි…” මිනිසුන් තුළ කිසියම් විචිකිච්ඡාවක් හටගෙන තිබේ. ඉකුත් 07 වන දා උදේ 07 – 08 ත් අතර කාලයේදී හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වී තිබේ. ඒ මාලඹේ, අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස තුළදී බව වාර්තා වේ.

මේවා සුළුකොට තැකිය හැකි සිදුවීම් නොවන බැවින් එම සිද්ධි අසන කවුරුත් පළමුව තැතිගනිති. මරණයට පත්වන්නේ විශ්‍රාමික හිටපු පොලිස්පතිවරයකි. මීට මාස කිහිපයකට පෙර එනම් මැයි මස 08 වැනිදා මේ අන්දමේ අභිරහස් මරණයක් වාර්තා විය. ඒ කපිල චන්ද්‍රසේන නැමැති අයගේය. රටේ ආන්දෝලනාත්මක සිදුවීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකුව සිට උසාවියෙන් ඇප ලබා පැමිණි ඔහුගේ සිරුර පසුදින හමුවිය.

එම සිද්ධියට ආසන්න දවසකදී රංග නිශාන්ත රාජපක්ෂ නමැති රාජ්‍ය සේවකයාගේ සිරුර හමුවන්නේ ඔහුගේ නිවස පිහිටි ගෙවත්තේ තැනක තිබියදීය. ඒ වන විට මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකර්වරයකුගේ ගිණුමකට බැරවීමේ ආන්දෝලනාත්මක සිද්ධියක් පිළිබඳ පොලිස් විමර්ශන ක්‍රියාත්මක වෙමින් තිබිණි. එම සිදුවීමේ ප්‍රධාන පෙළේ සාක්ෂිකරුවෙක් විය හැක්කේ රංග නිශාන්ත රාජපක්ෂ බව රට හමුවේ දිගහැරුණු පුවත් මඟින් ජනතාවට පෙනී ගොස් තිබිණි. ඔහුගෙන් කටඋත්තර පවා ලබාගැනිණි. ඒ අතරේ ඔහු මියගියේය. ඔහුගේ මරණය සියදිවි හානිකර ගැනීමක් බව ඔප්පු කරන්නට ආණ්ඩුවට ලොකු ‘ජව්සමක්’ නටන්නට සිදුවූ ආකාරයද අප දුටුවෙමු.

රංග නිශාන්ත රාජපක්ෂ

මේ ආකාරයට සියදිවි නසාගැනීමට හා මරණයට පත්වන්නේ අධිකරණයේ විභාග වන ප්‍රධාන පෙළේ නඩුවලට අවශ්‍ය පුද්ගලයන්ය. මොවුන් කිසිදු අධිකරණයක් මඟින් වැරදිකරුවන් කර නොමැත. ඒ ආසන්නයට හෝ පැමිණි බවක් දකින්නට නැතිව තිබියදී ජීවිතක්ෂයට පත්වීම භයානක තත්ත්වයකි.

රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ තමන් සියදිවි හානිකරගන්නා බවට පසුගිය සති කිහිපය පුරා රටේ මහත් ආන්දෝලනයක් ඇති කළේය. සියදිවි හානිකරගන්නා බවට ප්‍රකාශ කිරීම රට කළඹන, ජනතාව නොසන්සුන් කළ ආකාරයේ වෙනස්ම තත්ත්වයකි. එවැනි සිදුවීම් මීට පෙර රටේ සිදුවූ බවක් අපට මතක නැත.

කපිල චන්ද්‍රසේන

කෙසේ වෙතත් අධිකරණය හමුවේ රටට අතිශය වැදගත් නඩු රැසක් විභාග වෙමින් පවතින කාලයක් වශයෙන් වර්තමානය නම් කළ හැකිය. එම නඩු සාර්ථකව අවසන් කිරීමට අවශ්‍ය සාක්ෂිකරුවන්, සැකකරුවන් හෝ අදාළ තවත් පාර්ශව සියල්ලේ ජීවිත සුරක්ෂිතභාවය, අඹුදරුවන්ගේ අනාගතය පිළිබඳ ඔවුන් තුළ මනෝමය විශ්වාසයක් සහ ලැදියාවක් ගොඩනැඟීම අත්‍යවශ්‍ය කාරණයකි. එබඳු ආයතන පිළිබඳ විදේශ රටවලින් හැදෑරීමක් කළ හැකිය. හදිසියේ මේ ආකාරයටම ඉදිරියේදීත් මියයන්නට ගියහොත් මොන වගේ තත්ත්වයක් නීති පද්ධතිය තුළ සහ මානව සමාජයේ ඇතිවේදැයි වගකිවයුත්තන්ගේ අවධානයට ලක්විය යුතු කරුණකි.

වෙඩි වැදීමෙන් මරුමුවට පත් වූ හිටපු පොලිස්පතිවරයාද පාස්කු ප්‍රහාරය සම්බන්ධව රහස් පොලිසියට දීර්ඝ කටඋත්තරයක් ඉකුත් මාර්තු මාසයේදී ලබාදුන් අයෙක් බව වාර්තා වේ. එහි ඉතා වැදගත් කරුණු රැසක් අඩංගු වී තිබූ බවක්ද වාර්තා වෙයි. හිටිහැටියේ හිටපු පොලිස්පතිවරයා වෙඩි පහරකින් මරුමුවට පත්වීම දැවැන්ත කුතුහලයක් නංවන සිද්ධියක් බවට පත්වන්නේ එම පසුබිමද සමඟය. වෙඩිල්ල වැදී ඇත්තේ ඔහුගේ පපු පෙදෙසට බව වාර්තා වේ. එයින් අදහස් වන්නේ එක උණ්ඩයකින් ඔහුගේ ජීවිතයේ සියලුම පරිච්ඡේද වසා දැමීමට ගත් දැඩි තීන්දුවයි. එම මරණයේ අභියෝගය එල්ල වන්නේ කාටද?

සී.ඩී. වික්‍රමරත්න

මීට පෙර රාජ්‍ය පාලන කාලවලදී වැදගත් සාක්ෂිකරුවන් සදහටම අතුරුදන් වූයේ පාලන තන්ත්‍රයේ විවිධ කුලී හමුදා අතින්ය. නඩුත් නැත; බඩුත් නැත; සාක්කිත් නැත.

නමුත් වර්තමානය වෙනස් මුහුණුවරකට පරිවර්තනය වී තිබෙනු පෙනේ. එයද සාධාරණීකරණය කළ හැකි තත්ත්වයක් නොවන බවක් දැනෙන්නේ ඉහත කරුණු කාරණා මතය.

ඊයේ (18) සවස ඔහුගේ දේහය පිළිබඳ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ඉක්බිති එයට විවෘත තීන්දුවක් ලැබී තිබේ. විශේෂඥ සාක්ෂි මත එම මරණය පිළිබඳ අවසාන තීන්දුව ඉදිරියේදී ගනු ලැබෙයි. මේ අතර ඒ සී.ඩී. වික්‍රමරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පොලිස් ගෞරවය සහිතව සිදුකිරීමට පොලිස්පතිවරයා තීරණය කර තිබේ.

අනුර හොරේෂස්

එතෙර - මෙතෙර