හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න අවසන් කටයුතු පොලිස් උත්තමාචාර සහිතව හෙට

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න අවසන් කටයුතු පොලිස් උත්තමාචාර සහිතව හෙට

මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පොලිස් උත්තමාචාර මධ්‍යයේ හෙට (20) දින සිදුකිරීමට තීරණය කර තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු.වුට්ලර් මහතා පැවසුවේ විශ්‍රාමික පොලිස්පතිවරයෙකුගේ මියයාමකදී හිමිවන පොලිස් උත්තමාචාර හිටපු පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා වෙත ද ලබාදීමට තීරණය කර ඇති බවයි.හිටපු පොලිස්පතිවරයාගේ දේහය කොළඹ බොරැල්ලේ ජයරත්න රෙස්පෙක්ට් අවමංගල්‍යාගාරයේ තැන්පත් කොට ඇති අතර, අද (19) දිනයේ සිට මහජනතාවට අවසන් ගෞරව දැක්වීම සඳහා අවස්ථාව ලබාදී තිබේ. සී.ඩී. වික්‍රමරත්න මහතා පෙරේදා (17) උදෑසන සිය නිවසේ දී වෙඩි වැදී මියගොස් සිටියදී සොයාගෙන ඇත. ඔහුගේ මරණය සියදිවි හානී කරගැනීමක් බවට සැකකෙරෙන අතර සිය ආරක්ෂක නිලධාරියාගේ ගිනි අවියෙන් ඔහු වෙඩි තබාගෙන ඇති බවට පොලිසිය සැක පළ කරයි.නැගෙනහිර කොළඹ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් දේහය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබාදී ඇති අතර, හිටපු පොලිස්පතිවරයාගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකිරීමට ද පියවර ගෙන ඇත.මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාශය සහ මාලබේ පොලීසිය විමර්ශන සිදුකරන අතර, වෙඩි තැබීමට යොදාගත් බව කියන ගිනි අවිය ද රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇති බව පොලිසිය සඳහන් කරයි. විමර්ශනවලට අදාළව ඔහුගේ බිරිඳ සහ ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ද බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

කාලීන පුවත්