ගිනි අවි රැගත් පිරිසක් යාල ජාතික වනෝද්‍යානය තුළ සැරිසරන බවට ලද තොරතුරකට අනුව පසුගිය 11 වනදා තණමල්විල යාල ජාතික වනෝද්‍යාන මූලස්ථාන කාර්යාලයට අනුයුක්ත වනජීවී නිලධාරීන් පිරිසක් විසින් රක්ෂිතය තුළ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමක් අතරතුරදී දඩයම්කරුවන් සහ වනජීවී නිලධාරීන් අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබේ.වනජීවී නිලධාරීන් ලද තොරතුරු වලට අනුව යාල වනෝද්‍යානයේ ලුණුගම්වෙහෙර ජලාශයේ ඉහළ කොටස ආශ්‍රිතව මෙම මෙහෙයුම දියත් කර ඇත.එහිදී වනෝද්‍යානය තුළ සතුන් දඩයම් කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී දඩයම්කරුවන් විසින් වනජීවී නිලධාරීන් වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, ඊට ප්‍රතිචාර වශයෙන් නිලධාරීන්ද ආත්මාරක්ෂාව සඳහා නැවත වෙඩි තබා ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
වෙඩි හුවමාරුව අතරතුර සැකකරුවන් දෙදෙනෙකු පලාගොස් ඇති අතර, එම ස්ථානයේදීම එක් සැකකරුවෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.ඔහු ඇල්ලගල වම් ඉවුර, තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකු බව ලුණුගම්වෙහෙර පොලීසිය පවසයි.සැකකරු සතුව තිබී මුවන් දෙදෙනෙකුගේ මස් කිලෝග්‍රෑම් 41 ක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් වනජීවී නිලධාරීන් භාරයට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.මේ අතර පලාගිය සැකකරුවන් සොයා සිදුකළ විමර්ශන අතරතුර, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගත කර ඇති බවට තොරතුරක් වාර්තා වී ඇත.ලුණුගම්වෙහෙර ජලාශයේ ඉහළ කොටසේ වනෝද්‍යානය තුළදී වනජීවී නිලධාරීන් සැඟවී සිට වෙඩි තැබූ බව පවසමින් තුවාල ලැබූ පුද්ගලයකු දෙබරවැව මූලික රෝහලේ අංක 5 වාට්ටුවට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බව රෝහල් පොලීසිය විසින් ලුණුගම්වෙහෙර පොලීසියට දන්වා තිබේ.මෙම වෙඩි වැදීමෙන් ඔහුගේ දකුණු පස පිට ප්‍රදේශයට සහ දකුණු උරහිසට පහළ ප්‍රදේශයට තුවාල සිදුව ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.මෙසේ තුවාල ලබා රෝහල්ගතව ඇත්තේ ද තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකු බව වාර්තා වේ. ඔහු පලාගිය දඩයම්කරුවන්ගෙන් අයෙකුද යන්න පිළිබඳව පොලීසිය විමර්ශනය කරයි.සිද්ධිය සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර, පලාගිය අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වනජීවී නිලධාරීන් සමඟ ඒකාබද්ධව පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇත.