රක්ෂිත බන්ධනාගාරගත කෙරෙන සමහරුන්ට එක් වරම වැළඳෙන ලෙඩ හොර ලෙඩම නොවේ – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්


කිසියම් චෝදනාවක් මත රක්ෂිත බන්ධනාගාරගත කෙරෙන ප්‍රසිද්ධ පුද්ගලයකු හදිසියේ කිසියම් රෝග ලක්ෂණයක් පෙන්වීම හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බවට පුවත් වරින් වර අසන්නට ලැබේ. එවැනි අවස්ථාවක සමාජයේ ඇතැම් දෙනා ඉතා ඉක්මනින් එය “හොර ලෙඩක්”, “උප්පරවැට්ටියක්” හෝ “නීතියෙන් ගැලවීමට කරන රංගනයක්” ලෙස හඳුන්වති. එහෙත් වෛද්‍ය විද්‍යාවේදී එවැනි පටු නිගමනයකට පැමිණීම කිසිසේත්ම සුදුසු නොවේ. මන්ද, රෝගයක් ඇතැයි නොයෙක් රෝග ලක්ෂණ පළ කරමින් වෛද්‍යවරයකු හමුවට පැමිණෙන සෑම පුද්ගලයකුම සම්පූර්ණයෙන්ම සත්‍ය පවසන්නේද, රෝග ලක්ෂණ අතිශයෝක්තියට නංවන්නේද, නැතහොත් හිතාමතාම රෝගයක් මවාපාන්නේද යන්න වෛද්‍යමය වශයෙන් වෙන වෙනම සලකා බැලිය යුතු බැවිනි.

මෙහිදී වඩාත් වැදගත් වන්නේ “රෝගියා පළ කරන රෝග ලක්ෂණය ඇත්තද, බොරුද?” යන සරල ප්‍රශ්නය නොවේ. එම හැසිරීම පිටුපස ඇති ස්වභාවය සහ අරමුණ තේරුම් ගැනීමය. බැලූ බැල්මට සමාන ලෙස පෙනුණද, සාමාන්‍ය ව්‍යවහාරයේ “හොර ලෙඩ” යනුවෙන් හඳුන්වන මැලින්ගරින් (Malingering) සහ කෘත්‍රිම ආබාධය (Factitious Disorder) යනු එකිනෙකට වෙනස් තත්ත්ව දෙකකි. නවීන මනෝ වෛද්‍ය වර්ගීකරණයේදීද මේ දෙක අතර පැහැදිලි වෙනසක් දක්වා තිබේ. මැලින්ගරින් ස්වාධීන මානසික රෝග නිර්ණයක් ලෙස නොසලකන අතර, රෝග ලක්ෂණ හිතාමතාම මවාපෑම හෝ අතිශයෝක්තියට නැංවීම පිටුපස බාහිර ප්‍රතිලාභයක් හෝ අරමුණක් පැවතීම එහි ප්‍රධාන ලක්ෂණයකි.

මැලින්ගරින් යන වචනයෙන් අදහස් වන්නේ පුද්ගලයකු තමන්ට ඇති රෝගයක් හෝ ආබාධයක් පිළිබඳ තොරතුරු හිතාමතාම ව්‍යාජ ලෙස ඉදිරිපත් කිරීම, රෝග ලක්ෂණ නොමැති විට ඒවා ඇති බව පෙන්වීම හෝ සැබෑ රෝග ලක්ෂණ අතිශයෝක්තියට නැංවීමය. එහි විශේෂත්වය වන්නේ එම රංගනය හෝ ව්‍යාජ ඉදිරිපත් කිරීම පිටුපස කිසියම් බාහිර වාසියක් ලබාගැනීමේ අරමුණක් පැවතීමයි.

ඒ අතර රැකියාවකින් නිවාඩු ලබාගැනීම, වන්දි මුදලක් ලබාගැනීම, රක්ෂණ ප්‍රතිලාභයක් ලබාගැනීම, හමුදා හෝ වෙනත් දුෂ්කර රාජකාරියකින් බැහැරව සිටීම, නීතිමය වගකීමකින් හෝ දඬුවමකින් ගැලවීමට උත්සාහ කිරීම වැනි අරමුණු තිබිය හැකිය. ඇතැම් අවස්ථාවල ඖෂධ හෝ වෙනත් වෛද්‍ය ප්‍රතිලාභයක් ලබාගැනීමද අරමුණ විය හැකිය. එබැවින් වෛද්‍ය නිගමන අනුව “මැලින්ගරින්” යනු සරලව “බොරු රෝගයක් මවාපෑම” ලෙස පමණක් හඳුන්වා දීම ප්‍රමාණවත් නොවේ. එහි ප්‍රධාන හඳුනාගැනීමේ ලක්ෂණය වන්නේ රෝග ලක්ෂණ මවාපෑමට සම්බන්ධ බාහිර ප්‍රතිලාභයක් අපේක්ෂා කිරීම යන්නයි. ඇමරිකානු මනෝ වෛද්‍ය සංගමය ද රෝගයක් මවාපාමින් වන්දි ලබාගැනීම, රැකියාවෙන් වැළකීම, නීතිමය තත්ත්වයකින් හෝ වගකීමකින් ගැලවීම වැනි බාහිර වාසි අපේක්ෂා කිරීම මැලින්ගරින් හා සම්බන්ධ කරයි.

විශේෂයෙන් අධිකරණ, බන්ධනාගාර, හමුදා, රැකියා සහ වන්දි තක්සේරු වැනි තත්ත්වයන් තුළ මෙවැනි හැසිරීම් පිළිබඳ වෛද්‍ය සහ මනෝවිද්‍යාත්මක තක්සේරු අවශ්‍ය විය හැකිය. එහෙත් එවැනි පසුබිමක් තිබීම පමණින් පුද්ගලයා මැලින්ගරින් කරන්නේ යැයි තීරණය කළ නොහැකිය. එය තීරණය කිරීමේදී වෛද්‍යමය කරුණු, රෝග ඉතිහාසය, හැසිරීම් රටාව සහ පවතින සාක්ෂි සමස්තයක් ලෙස සලකා බැලිය යුතුය.

කෘත්‍රිම ආබාධයේදීද (Factitious Disorder) පුද්ගලයා තමන් රෝගියකු බව පෙන්වීම සඳහා රෝග ලක්ෂණ හිතාමතාම මවාපෑම, ව්‍යාජ ලෙස ඉදිරිපත් කිරීම, ඇති රෝග ලක්ෂණ තවත් උග්‍ර කර පෙන්වීම හෝ ඇතැම් අවස්ථාවල නැති රෝගී තත්ත්වයක් ඇති කිරීමට පවා කටයුතු කළ හැකි ය. එහෙත් මෙහි මැලින්ගරින් සමඟ ඇති ප්‍රධාන වෙනස වන්නේ පැහැදිලි බාහිර ප්‍රතිලාභයක් ලබාගැනීම එහි මූලික අරමුණ නොවීමයි.

මෙවැනි පුද්ගලයකුට තමන් රෝගියකුය යන හිමිකම ලබා ගැනීමම වැදගත් විය හැකිය. එනම්, රෝගියකු ලෙස සැලකීම, රැකවරණය ලැබීම හෝ වෛද්‍ය පද්ධතිය තුළ රෝගියකු ලෙස සිටීම ඔහුගේ හෝ ඇයගේ හැසිරීමේ මූලික අරමුණක් විය හැකිය. ඇමරිකානු මනෝ වෛද්‍ය සංගමයේ DSM-5-TR වෙළුම අනුව තමන් පිටම පටවා ගන්නා කෘත්‍රිම ආබාධය (Factitious Disorder Imposed on Self) සඳහා ප්‍රධාන වශයෙන් සලකා බලන්නේ රෝග ලක්ෂණ හෝ ආබාධයක් ව්‍යාජ ලෙස නිර්මාණය කිරීම හෝ ඇති කිරීම, තමන් රෝගී, ආබාධිත හෝ තුවාල ලැබූ අයකු ලෙස ඉදිරිපත් කිරීම සහ පැහැදිලි බාහිර ප්‍රතිලාභයක් නොමැති වීම යන කරුණුය.

ඒ අනුව සරලව මතක තබාගත හැකි වෙනස මෙසේය: මැලින්ගරින්හිදී “මට මෙයින් පිටතින් ලැබෙන්නේ කුමක්ද?” යන ප්‍රශ්නය වැදගත් වන අතර, කෘත්‍රිම ආබාධයේදී “මට රෝගියකු වීමෙන් ලැබෙන රෝගී භූමිකාව හෝ ඒ හා බැඳුණු රැකවරණය කුමක්ද?” යන්න වඩාත් වැදගත් වේ.

මෙහිදී තවත් ඉතා වැදගත් කරුණක්ද කිව යුතුය. එනම්, වෛද්‍ය පරීක්ෂණයකින් රෝගයක් හමු නොවූ පමණින් පුද්ගලයකු රෝග ලක්ෂණ මවාපෑමක් සිදුකරන බවට තීරණය කළ නොහැකි වීමයි. වේදනාව, තෙහෙට්ටුව, කරකැවිල්ල, හිසරදය, හුස්ම ගැනීමේ අපහසුතාව වැනි රෝග ලක්ෂණවලට සෑම විටම සරලව මැනිය හැකි ජෛව විද්‍යාත්මක සාක්ෂියක් නොතිබිය හැකිය. එමෙන්ම මානසික ආතතිය, කාංසාව සහ වෙනත් මානසික තත්ත්වයන් නිසා පුද්ගලයකුට සැබෑ ශාරීරික අපහසුතා දැනිය හැකිය.

එබැවින් “පරීක්ෂණයෙන් කිසිවක් හමු වූයේ නැත” යන්නෙන් “රෝගියා බොරු කියයි” යන නිගමනයට පැමිණිය නොහැකි ය. වෛද්‍යවරයාගේ වගකීම වන්නේ රෝගියාට ලේබලයක් ඇලවීම නොව, පවතින සාක්ෂි මත හැකි තරම් නිවැරදි රෝග නිර්ණයකට පැමිණීමය.

එහෙත් කෘත්‍රිම ආබාධය හඳුනාගැනීම ද ආවාට ගියාට කළ හැක්කක් නොවේ. එය වෛද්‍ය වෘත්තියට විශේෂ අභියෝගයක් වන්නේ රෝගියා ඇතැම් විට ඉතා විශ්වාසදායක ආකාරයෙන් රෝග ඉතිහාසයක් ඉදිරිපත් කළ හැකි බැවිනි. රෝග ලක්ෂණ පිළිබඳ විස්තර වෙනස් කිරීම, කලින් සිදු වූ පරීක්ෂණ හා ප්‍රතිකාර පිළිබඳ ව්‍යාජ තොරතුරු ලබාදීම, විවිධ වෛද්‍යවරුන් හෝ රෝහල් වෙත යාම වැනි හැසිරීම් වාර්තා වී තිබේ. සමහර අවස්ථාවල පුද්ගලයා තමන්ටම හානි කරගනිමින් (Self-harm) හෝ රෝගී තත්ත්වයක් ඇතිවන ආකාරයට ක්‍රියා කරමින් තමන් රෝගියකු බව පෙන්වීමට උත්සාහ කළ හැකිය.

මෙවැනි තත්ත්ව හඳුනාගැනීමේදී වෛද්‍යවරයා කෙසේවත් එක් පරීක්ෂණයක ප්‍රතිඵලයක් මත පමණක් තීරණයකට නොපැමිණිය යුතුය. රෝගියාගේ පෙර වෛද්‍ය වාර්තා, රෝග ලක්ෂණවල ස්වභාවය, පරීක්ෂණ ප්‍රතිඵල, විවිධ අවස්ථාවල ලබාදුන් තොරතුරු අතර ඇති සමාන-අසමානතා සහ සමස්ත හැසිරීම් රටාව වැනි කරුණු එකට සලකා බැලීම අවශ්‍ය වේ. කෘත්‍රිම ආබාධය හඳුනාගැනීම වෛද්‍ය විශේෂඥයන්ට පවා අභියෝගයක් විය හැකිය.

මෙම කෘත්‍රිම ආබාධය පිළිබඳ සාකච්ඡා කරන විට ‘මුන්චෞසෙන් සින්ඩ්‍රෝමය’ (Munchausen Syndrome) යන නාමය නිතර හමුවේ. ජර්මානු වංශාධිපතියකු වූ බාරොන් මුන්චෞසෙන් (Baron Münchhausen) පිළිබඳ ප්‍රකට අතිශයෝක්තිමය කතා ඇසුරෙන් මෙම නාමය වෛද්‍ය සාහිත්‍යයට පැමිණි අතර, බ්‍රිතාන්‍ය වෛද්‍ය රිචඩ් ඇෂර් (Richard Asher) විසින් 1951 දී ‘The Lancet’ සඟරාවේ පළ කළ ලිපියක “Munchausen’s syndrome” යන නාමය මුල් වරට භාවිත කරන ලදී.

ඉතිහාසයේදී මෙම නාමය නැවත නැවතත් ව්‍යාජ රෝග තත්ත්වයන් ඉදිරිපත් කරමින් විවිධ රෝහල් වෙත යන, සංකීර්ණ වෛද්‍ය ඉතිහාස ඉදිරිපත් කරන පුද්ගලයන් විස්තර කිරීමට භාවිත විය. එහෙත් වර්තමානයේ වෛද්‍ය වර්ගීකරණයේදී වඩාත් නිශ්චිත නාමය වන Factitious Disorder Imposed on Self යන්න භාවිත කිරීම වඩාත් සුදුසු ය. ඇමරිකානු මනෝ වෛද්‍ය සංගමයද වර්තමාන වර්ගීකරණයේදී මෙම තත්ත්වය Factitious Disorder යටතේ දක්වයි.

මෙම කතාන්දරය තුළ තවත් සිත්ගන්නා සංකල්පයක් වන්නේ ව්‍යාජ මායාත්මක පරිකල්පනයයි (Pseudologia Fantastica). එය අතිශයෝක්තිමය, සංකීර්ණ සහ දිගුකාලීන ව්‍යාජ කතා නිර්මාණය කිරීමේ රටාවක් ලෙස වෛද්‍ය සාහිත්‍යයේ සාකච්ඡා කර ඇත. එහෙත් මෙය මැලින්ගරින් හෝ කෘත්‍රිම ආබාධය සඳහා සෘජු සමාන පදයක් නොවන අතර, ස්වාධීන DSM-5-TR රෝග නිර්ණයක්ද නොවේ.

ඇතැම් කෘත්‍රිම ආබාධ අවස්ථාවලදී පුද්ගලයා තම අතීතය, වෘත්තිය, අධ්‍යාපනය හෝ රෝග ඉතිහාසය පිළිබඳ විස්තරාත්මක ව්‍යාජ කතා ගොඩනැගිය හැකි බැවින් Pseudologia Fantastica යන සංකල්පය එවැනි හැසිරීම් තේරුම් ගැනීමට උපකාරී විය හැකිය. එහෙත් එය “කෘත්‍රිම ආබාධය” යන රෝග නිර්ණයට සමාන නොවන බව අවධාරණය කළ යුතුය.

කෘත්‍රිම ආබාධයේ වඩාත් බරපතළ ස්වරූපයක් වන්නේ Factitious Disorder Imposed on Another යන්නයි. මෙහිදී පුද්ගලයකු තමන් වෙනුවට වෙනත් අයකු (බෝහෝවිට තම රැකවරණය යටතේ සිටින දරුවකු හෝ වෙනත් අයකු) රෝගියකු ලෙස ඉදිරිපත් කිරීමට, රෝග ලක්ෂණ ව්‍යාජ ලෙස නිර්මාණය කිරීමට හෝ ඒවා ඇති කිරීමට කටයුතු කරයි. මෙය කලින් ජනප්‍රියව “Munchausen syndrome by proxy” යනුවෙන් හඳුන්වන ලදී. වර්තමානයේ Factitious Disorder Imposed on Another යන වෛද්‍ය නාමය භාවිත කිරීම වඩාත් නිවැරදි ය.

මෙය හුදෙක් මනෝ වෛද්‍ය ගැටලුවක් පමණක් නොව, එයට ගොදුරු වන පුද්ගලයාට සැබෑ ශාරීරික හා මානසික හානි සිදුවිය හැකි බැවින් ආරක්ෂාව හා ළමා ආරක්ෂණය වැනි කරුණු සමඟද සම්බන්ධ බරපතළ තත්ත්වයකි. මක් නිසාද යත් ඇතැම්හු තම දරුවන් පවා යොදා රෝග ලක්ෂණ ව්‍යාජ ලෙස නිර්මාණය කිරීමට හෝ ඒවා ඇති කිරීමට කටයුතු කරන බැවිනි.

මෙම තත්ත්වයන් පිළිබඳ පැරණි වෛද්‍ය වර්ගීකරණ වන DSM-5 සහ ICD-10 හිද සඳහන් වුවද, වර්තමාන කරුණු සලකා බැලීමේදී DSM-5-TR සහ ICD-11 වෙත අවධානය යොමු කිරීම වඩාත් යෝග්‍යය.

ICD-11 තුළ Factitious Disorders සඳහා වෙනම කාණ්ඩයක් හඳුන්වා දී ඇති අතර, එයට Factitious Disorder Imposed on Self (6D50) සහ Factitious Disorder Imposed on Another (6D51) යන ආකාර දෙක ඇතුළත් වේ.

එහිදී ද පැහැදිලි බාහිර ප්‍රතිලාභයක් ලබාගැනීම සඳහා සිදුකරන රෝග මවාපෑමෙන් එය වෙන් කරනු ලැබේ. මැලින්ගරින් ICD-11 තුළ මානසික, චර්යාත්මක හා ස්නායු වර්ධන ආබාධයක් ලෙස නොව, සෞඛ්‍ය තත්ත්වයට හෝ සෞඛ්‍ය සේවා සමඟ සම්බන්ධතාවයට බලපාන සාධකයක් ලෙස වෙනම සලකා ඇත.

එසේ නම් බන්ධනාගාර රෝහලට යන සෑම පුද්ගලයකුම ‘රංගනයක්’ කරනවාද? යන පැනයට මනෝ වෛද්‍ය විද්‍යාත්මකව දිය හැකි කෙටිම පිළිතුර වන්නේ “කිසිසේත්ම එසේ කිව නොහැකි ය” යන්නය.

බන්ධනාගාරගත පුද්ගලයකු රෝග ලක්ෂණ පෙන්වීමේදී ඔහුට සැබෑ රෝගයක් තිබිය හැකි ය. එසේත් නැතිනම් ආතතිය, කාංසාව හෝ වෙනත් මානසික තත්ත්වයක් නිසා සැබෑ ශාරීරික රෝග ලක්ෂණ ඇතිවිය හැකිය. ඇතැම් අවස්ථාවක බාහිර වාසියක් ලබාගැනීමේ අරමුණින් රෝග ලක්ෂණ මවාපෑමක්ද සිදුවිය හැකිය. තවත් දුර්ලභ අවස්ථාවක රෝගියකු වීමේ භූමිකාව සඳහා කෘත්‍රිම ආබාධයක්ද පැවතිය හැකිය. එබැවින් බන්ධනාගාරයක සිටින පුද්ගලයකු රෝහල්ගත වූ පමණින් “නීතියෙන් ගැලවීමට බොරු ලෙඩක් මවාපානවා” යන නිගමනයට පැමිණීම විද්‍යාත්මක නොවේ. අනෙක් අතට, බන්ධනාගාර පරිසරය හෝ නීතිමය ක්‍රියාවලිය මැලින්ගරින් සඳහා බාහිර ප්‍රතිලාභයක් තිබිය හැකි පරිසරයක් විය හැකි බැවින්, වෛද්‍ය ඇගයීමේදී එම සන්දර්භය නොසලකා හැරිය නොහැකිය. අවසාන තීරණය සාක්ෂි මත පදනම් විය යුතුය.

මැලින්ගරින් සහ කෘත්‍රිම ආබාධය පිළිබඳ අවබෝධය අපට ඉතා වැදගත් සමාජ පාඩමක් ලබා දෙයි. රෝගයක් නොමැති බව පෙනී ගිය පමණින් පුද්ගලයකු “බොරුකාරයකු” ලෙස හැඳින්වීමත්, රෝග ලක්ෂණ මවාපාන සෑම පුද්ගලයකුම එකම මානසික තත්ත්වයක සිටින බව සිතීමත් වෛද්‍යමය වශයෙන් දෙකම වැරදි ය.

මේ සියල්ලෙන් පෙනී යන්නේ මිනිස් මනස සහ රෝගී හැසිරීම අතර සම්බන්ධය අප සිතනවාට වඩා බෙහෙවින් සංකීර්ණ බවය. එබැවින් රෝග ලක්ෂණයක් පිටුපස ඇති කතාව සොයා බැලීමේදී වැදගත් වන්නේ “මේ පුද්ගලයා බොරු කියනවාද?” යන ප්‍රශ්නය පමණක් නොවේ. ඊට වඩා වැදගත් ප්‍රශ්නය වන්නේ “මෙම හැසිරීම සිදුවන්නේ කුමන පසුබිමකද, එහි අරමුණ කුමක්ද, සැබෑ රෝගයක් තිබේද, සහ පුද්ගලයාට හෝ වෙනත් අයකුට සිදුවිය හැකි හානිය කුමක්ද?” යන්නය. වෛද්‍ය විද්‍යාවේ සැබෑ වටිනාකම ඇත්තේ මිනිසකු ඉක්මනින් “හොර ලෙඩකාරයකු” හෝ “බොරුකාරයකු” ලෙස හඳුන්වා දීම තුළ නොව, ඔහුගේ හැසිරීම පිටුපස ඇති වෛද්‍යමය, මනෝවිද්‍යාත්මක සහ සමාජීය සත්‍යය සාක්ෂි මත සොයා ගැනීම තුළ ය.

විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

එතෙර - මෙතෙර