ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයට දශක ගණනාවක් පුරා සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ප්‍රවීණ ගායන ශිල්පියකු මෙන්ම රංගන ශිල්පියකු වූ ප්‍රියංකර පෙරේරා මහතා ඊයේ (01) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබේ.කලක් රෝගාතුරව සිටි ඒ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතීහු පැවසූහ. මියයන විට 64 වැනි වියේ පසුවූ ප්‍රියංකර පෙරේරා මහතා ජනප්‍රිය ගායන ශිල්පී ජේ. ඒ. මිල්ටන් පෙරේරා මහතාගේ වැඩිමහල් පුත්‍රයාය.පියාගෙන් උරුම වූ සංගීත පසුබිම තුළින් ගායන ක්ෂේත්රයට පිවිසි ප්‍රියංකර පෙරේරා මහතා සිය මධුර හඬින් රසික හදවත් දිනාගත් ගායකයකු ලෙස දීර්ඝ කාලයක් ජනප්‍රියත්වය රැක ගත්තේය. “සුපුන් සඳක්”, “සඳුන් ගසේ සමන් වැලක්”, “සිකුරුලියා”, “අගාධ සාගරයේ” ඇතුළු ගීත රැසක් ඔහුගේ ගායන දිවියේ ජනප්‍රිය නිර්මාණ අතරට එක්ව තිබේ. ඔහුගේ ගීත එකතුවල ගීත 100කට වැඩි සංඛ්‍යාවක් ලේඛනගතව ඇති අතර, “අගාධ සාගරයේ” නමින් ඔහුගේ ගීත ඇතුළත් ඇල්බමයක්ද 2021දී නිකුත් වී තිබේ.ජනප්‍රිය රංගන ශිල්පිනී දිල්හානි ඒකනායක මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා වන ප්‍රියංකර පෙරේරා මහතා එක් දරු පියකු ද වේ.ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.