ලෝකයේ ලොකුම මැතිවරණය ඇරඹෙයි

vinivida

ඉන්දියාවේ මහා මැතිවරණ තරම් ලොකු මැතිවරණ ලෝකයේ මොන රටකවත් පැවැත්වෙන්නේ නැත. මෙවරත් එය එසේම ය. අද ආරම්භ වූ එරට අලුත්ම පාර්ලිමේන්තු මැතිවරණය සති හයක කාලයක් පුරා පැවැත්වෙයි. ඒ අදියර හතක් යටතේ ය. එම අදියරවල ඡන්ද විමසීම් පැවැත්වෙන්නේ අප්‍රේල් 19, අප්‍රේල් 26, මැයි 7, මැයි 13, මැයි 20, මැයි 25 සහ ජුනි 1 යන දිනවල යි.

ඇදහීමට අමාරු තරම් ඡන්දදායකයෝ පිරිසක් මෙවර ඡන්දය භාවිත කිරීම සඳහා ලියාපදිංචි වී සිටිති. එම සංඛ්‍යාව මිලියන 969 ක් බව සඳහන් වේ. ඒ කියන්නේ බිලියනයකට ආසන්න බව ය. අදියර හතක් යටතේ මැතිවරණය පවත්වන්නේ ඉන්දියාව වැනි විශාල රටක් තුළ මේ තරම් ඡන්දදායකයන් පිරිසක් ඡන්දය දෙද්දී හැම තැනකටම එකවර ආරක්‍ෂාව සැපයීම අපහසු නිසා බව සඳහන් වේ.

මෙවර මැතිවරණ කටයුතු සඳහා මැතිවරණ නිලධාරීන් සහ ආරක්‍ෂක නිලධාරින් මිලියන 15 ක් පමණ සම්බන්ධ වන බව ද සඳහන් ය. ඡන්ද මධ්‍යස්ථාන මිලියනයක් පමණ පිහිටුවන බව ද, ඡන්දය භාවිත කිරීම සඳහා ගන්නා ඉලෙක්ට්‍රොනික යන්ත්‍ර මිලියන 5.5 ක් පමණ යොදා ගන්නා බව ද වාර්තා වේ.

ඉන්දියාව විශාල රටක් නිසා ඈත දුර බැහැර ගම් නියම්ගම්වල ජීවත් වන ජනතාව වෙත ළඟා වීමේ දී මැතිවරණ නිලධාරීන්ට බොහෝ දුෂ්කරතා, අභියෝගවලට මුහුණ දෙන්නට සිදු වේ. සමහර කාන්තාර ප්‍රදේශ වෙත ඔවුන් යන්නේ ඔටුවන් පිට නැගී බව ද සඳහන් ය. අරුණාචල් ප්‍රදේශ් නැමැති ප්‍රාන්තයේ ඈත ගමක සිටි එකම එක ඡන්දදායකයකු වෙනුවෙන් ද 2019 මැතිවරණයේ දී ඡන්ද මධ්‍යස්ථානයක් පිහිටුවා තිබිණි. හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ මුහුදු මට්ටමේ සිට අඩි 15.000 ක් පමණ උසින් පිහිටි ගම්මානයක ද ඡන්ද මධ්‍යස්ථානයක් පිහිටුවනු ලැබේ. එය ද ලෝක වාර්තාවකි. මන්ද යත් මෙතරම් ඉහළ තැනක ඡන්ද මධ්‍යස්ථානයක් පිහිටුවන වෙන කිසි රටක් ලෝකයේ නැති බැවිනි.
හිමාචල් ප්‍රදේශ් යනු හිමාලය ආසන්නයේ පිහිටි ප්‍රාන්තයකි.

මෙවරත් මැතිවරණයේ දී තරග වදින ප්‍රධාන ජාතික පක්‍ෂ දෙක වන්නේ භාරතීය ජනතා පක්‍ෂය සහ ඉන්දීය ජාතික කොංග්‍රසය යි. අගමැති නරේන්‍ද්‍ර මෝදි අයත් වන්නේ භාරතීය ජනතා පක්‍ෂයට ය. ඉන්දීය ජාතික කොංග්‍රසය යනු සෝනියා ගාන්ධි, රහුල් ගාන්ධි, ප්‍රියංකා ගාන්ධි වැනි නායකයන් අයත් වන පක්‍ෂය යි. තවත් පක්‍ෂ රැසක් මෙම ප්‍රධාන පක්‍ෂ දෙක සමග සන්ධානගතව සිටියි. භාරතීය ජනතා පක්‍ෂය අයත් වන සන්ධානය හැඳින්වෙන්නේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය නමිනි. කොංග්‍රස් පක්‍ෂය නායකත්වය දෙන්නේ INDIA (Indian National Developmental Inclusive Alliance නමින් හැඳින්වෙන සන්ධානයට යි.

2014 වසරේ සිටම අඛණ්ඩව ඉන්දියාවේ බලය හොබවන්නේ භාරතීය ජනතා පක්‍ෂය යි. අගමැති ධුරය දරන්නේ නරේන්‍ද්‍ර මෝදි යි. පසුගිය කාලයේ කරන ලද ජනමත සමීක්‍ෂණවලට අනුව මෙවර ද භාරතීය ජනතා පක්‍ෂය ජය ගනු ඇතැයි අනාවැකි පළ වෙයි. මෝදි ගේ ප්‍රබල නායකත්වය තවමත් ජනතාවගෙන් ප්‍රතික්‍ෂේප වී නැති බව පෙනේ. මෙවර ද භාරතීය ජනතා පක්‍ෂය ජය ගතහොත් මෝදි අඛණ්ඩව තුන්වැනි වතාවටත් අගමැති ධුරයට පත් වනු ඇත.

මහා මැතිවරණය පැවැත්වෙන්නේ ඉන්දීය පාර්ලිමේන්තුවේ ලෝක් සභාව සඳහා නියෝජිතයන් පත් කර ගැනීම සඳහා යි. එරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මණ්ඩල දෙකක් තිබේ. අනෙක් මන්ත්‍රී මණ්ඩලය හැඳින්වෙන්නේ රාජ්‍ය සභාව යනුවෙනි. එයට නියෝජිතයන් පත් කර ගන්නේ ප්‍රධාන වශයෙන්ම ප්‍රාන්ත සභාවල මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙනි.

ලෝක් සභාවේ ආසන 543 ක් වෙනුවෙන් නියෝජිතයන් තෝරා ගැනීම මහා මැතිවරණයේ දී සිදු වේ. යම් පක්‍ෂයක් හෝ සන්ධානයක් තනිව ආණ්ඩුවක් පිහිටුවීමට නම් ආසන 272 කට වැඩි සංඛ්‍යාවක් දිනා ගත යුතුය. 2019 මැතිවරණයේ දී භාරතීය ජනතා පක්‍ෂය ආසන 303 ක් දිනා ගත් අතර ඔවුන්ගේ සන්ධානය ආසන 352 ක් දිනා ගත්තේය. ඔවුන් පවසන්නේ මෙවර ඊටත් වඩා ආසන සංඛ්‍යාවක් දිනාගන්නා බවයි.

ඉන්දීය සිනමා තරු ද මෙවර මැතිවරණයට ක්‍රියාකාරීව සම්බන්ධ වෙති. ජනප්‍රියම නිළියක වන කන්ගනා රනවුත් භාරතීය ජනතා පක්‍ෂයෙන් ඡන්දය ඉල්ලන අතර ඇය තරග කරන්නේ ඇයගේ උපන් ප්‍රදේශයේම ආසනයක් වෙනුවෙනි. කන්ගනා උපන්නේ හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ මන්ඩි නැමැති ප්‍රදේශයේ යි.

දෙමළ සිනමාවේ සුපිරි නළු කමල් හසන් ද මෙවර මැතිවරණයට ඉතා සක්‍රියව සම්බන්ධව සිටියි. ඔහු අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් නොවුණත් තමිල්නාඩු ප්‍රාන්තයේ ආණ්ඩු පක්‍ෂය වන ද්‍රවිඩ මුන්නේත්‍ර කෂාගම් පක්‍ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරයි. මෙම පක්‍ෂය මෝදි ගේ පක්‍ෂයට එරෙහිව සටන් කරන පක්‍ෂයකි. එය INDIA සන්ධානයේ හවුල්කාරයකු ද වේ.

මෙවර මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමට නියමිතව ඇත්තේ ජුනි 4 වැනි දින ය.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර