ලෝක අලි දිනය අදයි

ලෝක අලි දිනය අදට (12) යෙදී ඇත. පාරි­ස­රික පද්ධ­තියේ අනන්‍ය සංකේ­ත­යක් මෙන්ම ජෛව විවි­ධ­ත්වයේ තීර­ණා­ත්මක පුරු­කක් වන වන­අ­ලින්ගේ සුර­ක්ෂි­ත­තාව හා පැවැත්ම වෙනු­වෙන් ලෝක­යේම අව­ධා­නය යොමු වී ඇති මේ අව­ස්ථාවේ, ශ්‍රී ලංකාවේ ද ඒ වෙනු­වෙන් වැඩි අව­ධා­න­යක් යොමු කර තිබෙන බව පරි­සර අමා­ත්‍යාං­ශය පව­සයි.

වසර ගණ­නා­වක් පුරා මෙරට පැවති අක්‍ර­ම­වත් සංව­ර්ධන ක්‍රියා­ව­ලිය, ස්වාභා­වික සංච­රණ මාර්ග සහ අලි මංකඩ අව­හිර වීම, පාරි­ස­රික මායිම් විධි­මත් ලෙස කළ­ම­නා­ක­ර­ණය නොකි­රීම සහ ගෝලීය දේශ­ගු­ණික විප­ර්යා­ස­යන්ගේ අහි­ත­කර බල­පෑම හේතු­වෙන් අලි – මිනිස් ගැටුම අද වන විට සමා­ජීය හා ආර්ථික අර්බු­ද­යක් බවට පත්වීම වැළැ­ක්විය නොහැකි තත්ත්ව­යක් වී ඇතැයි ද අමා­ත්‍යාං­ශය පව­සයි.

පව­තින ගැට­ලුව සඳහා තාව­කා­ලික පැලැ­ස්තර විස­ඳුම් වෙනු­වට, ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ ඍජු උප­දෙස් හා මඟ­පෙ­න්වීම යටතේ ස්ථිර, විද්‍යා­ත්මක සහ තිර­සර විස­ඳු­මක් ලබා­දී­මට ලංකා ඉති­හා­සයේ පරි­සර අමා­ත්‍යාං­ශය වෙත විද්‍යා­ත්මක පද­න­මින් යුතුව ඒකා­බද්ධ කරන ලද ආය­ත­න­වල සහ­යෝ­ග­යෙන් කැප­වී­මෙන් කට­යුතු කර ඇතැයි ද කියා සිටියි.

වන­අ­ලින්ගේ සංච­රණ රටා­වන්ට බාධා නොවන පරිදි හම්බ­න්තොට සහ මොන­රා­ගල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර­ග­නි­මින් වැට­හි­ර­කන්ද, හද­පා­නා­ගල සහ කොහො­ලං­කල යන අලි මංකඩ තුන නිල වශ­යෙන් ගැසට් පත්‍ර­යක් මඟින් ප්‍රකා­ශ­යට පත් කර විවෘත කර ඇත. එමෙන්ම ඉදි­රි­යේදී අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්කයේ අලි මංකඩ නිද­හස් කිරී­මට අදාළ කට­යුතු ද මේ වන විට සිදු කෙරෙ­මින් පව­තින බව පෙන්වා දෙයි.

පින්න­වල අලි සංර­ක්ෂණ මධ්‍ය­ස්ථා­නය ආශ්‍රි­තව මද කිපුණු අලි ඇතුන් දම්වැ­ල්ව­ලින් මුදා වඩාත් නිද­හස් හා ස්වාභා­වික පරි­ස­ර­යක හැසි­රී­මට අව­ස්ථාව සලසා දෙන ආසි­යාවේ ප්‍රථම “නිද­හස් අලි අරණ” විවෘත කිරීම නව රජයේ තවත් සත්ව සුබ­සා­ධන සුපෝ­ෂිත පිය­ව­රකි. ලංකාවේ හීලෑ අලි ඇතුන් නියා­ම­නය සහ සංස්කෘ­තික කට­යුතු සඳහා ලබා­දීම සම්බ­න්ධව ක්‍රම­වේ­ද­යක් සකස් කිරීම උදෙසා වන­ජීවී සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් මේ වන විට කෙටු­ම්පත් කර ඇති, ‘2026 ඇතුන් ලියා­ප­දිංචි කිරීම සහ ඔවුන් සඳහා බල­පත්‍ර දීම’ සම්බන්ධ රෙගු­ලාසි නැවත සමා­ලෝ­ච­නය කර නිර්දේශ ඉදි­රි­පත් කිරීම ද මෙහි අර­මු­ණකි. එමෙන්ම හීලෑ අලි ඇතුන් සංස්කෘ­තික හා ආග­මික කට­යුතු සඳහා යොදා ගැනීම, එම කට­යුතු සඳහා ලබා­දීමේ ක්‍රම­වේ­දය සහ අලි ඇතුන්ගේ සුබ­සා­ධ­නය සම්බන්ධ කරුණු පිළි­බඳ නිරී­ක්ෂණ හා නිර්දේශ සහිත වාර්තා­වක් ඉදි­රි­පත් කිරීම සඳ­හාත් පරි­සර අමා­ත්‍යාංශ ලේක­ම්වරයා විසින් පරි­සර අමා­ත්‍යාං­ශයේ අති­රේක ලේකම් (ප්‍රති­පත්ති, නීති ප්‍රති­සං­ස්ක­රණ හා පාර්ලි­මේන්තු කට­යුතු) සභා­ප­ති­ත්ව­යෙන් යුත් කමි­ටු­වක් පත් කර ඇත.

කාලීන පුවත්