ලෝක වෙළඳ පලේ අඩු වුණත් ඉන්ධන මිල අඩු කරන්න අපට බෑ

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල පහළ ගොස් තිබුණ ද, වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල අඩු කිරීමට කිසිසේත්ම හැකියාවක් නොමැති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කර ඇත. “ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩුවෙලා තියෙනවා. ඒ සහනය ජනතාවට ලබාදෙන්න හැකිවෙයිද?” යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය ප්‍රකාශ කළේ, මේ වන විට වෙළඳපොළේ පවතින්නේ මීට පෙර වැඩි මිලකට මිලදී ගත් තෙල් තොග බවයි. එම තෙල් මිලදී ගැනීමේදී වත්මන් මිලට වඩා විශාල මුදලක් වැය වූ බවත්, වර්තමානයේ ලීටරයක් රු. 400 ක මට්ටමකට ලබාදීමට හැකි වී ඇත්තේ එහි බරෙන් කොටසක් රජය විසින් දරා සිටින නිසා බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. තවදුරටත් අදහස් දැක්වූ ඇය, තෙල්වල සැබෑ මිල සැලකුවහොත් ලීටරයක මිල රු. 700 ඉක්මවිය යුතු බව සඳහන් කළාය. එමෙන්ම තෙල් මිල අඩු වන විට ඒ සහනය ජනතාවට ලබාදීමට හැකි ඉක්මනින් කටයුතු කරන බව ප්‍රකාශ කළ ද, ලෝක වෙළඳපොළේ මිල අඩු වූ පමණින් වහාම දේශීය මිල අඩු කළ නොහැකි බව ද ඇය පැහැදිලි කළාය. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය මෙම අදහස් පළ කළේ පසුගියදා මල්වතු – අස්ගිරි මහානායක හිමිවරුන් බැහැදැකීම සඳහා මහනුවරට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කාලීන පුවත්