ලෝචනා පින් අතට, පූර්ණිකා යූ ටියුබ් වලට, ධනංජිටත් කොවිඩ් වැළඳී සුව වෙලා!

purnikalochanadananjani

නිර්මාණ වල වැඩිය පේන්න නැති වුණාට ලෝචනා ගැන කොයි කවුරුත් කතා කරනවා. ඒ කොවිඩ් වසංගත රැල්ලත් එක්ක එළියට බැහැලා ඇය සමාජ සුභසාධන වැඩ පටන්ගත්ත නිසා. ලෝචනා පහුගිය දවස් වල කළුබෝවිල කොරෝනා වාට්ටුවටම ගිහින් කොරෝනා රෝගීන් වෙනුවෙන් බොයිලේරු දෙකක්ම පරිත්‍යාග කරලා.

ඊට අමතරව ලඟ නැතිවුණත් තම පුතාගේ පස්වෙනි උපන්දිනය වෙනුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොරෝනා වැළඳුනු දරුවන් 35ක ගේ පවුලේ උදවිය වෙනුවෙන් වියලි ද්‍රව්‍ය පරිත්‍යාග කරලා තියනවා. ඊටත් අමතරව Child Care By Lochana පදනමක් පිහිටු වාගෙන අසරණ දරුවන්ට උදව් කරනවා.

මේ දවස් වල ඇය සූදානම් වෙන්නේ කරාපිටියේ රෝහලේ කොවිඩ් වැළඳුන දරුවන් වෙනුවෙන් ඔවුන් කැමතිම ආකාරයේ ආහාර රුචිය වඩවන ‍කෑම වේලක් ගිහින් දෙන්න.

අතින් වියදම් කරගෙන දේශපාලඥයොත් නොකරන මේ සමාජ සුභසාධන වැඩ‍ ලෝචනා කරන්න හිතුවෙ  අනාගතයේ දේශපාලනයටවත් එන්න ද දන්නෙ නෑ කියලා සමහරු තැනින් තැන කතා වෙනවා.

තවත් සමහරු ප්‍රසිද්ධ වෙන්න නටන නාඩගම්නේ කියලා කරන වැඩේ හෑල්ලුවට ලක්කරනවා. ඒ අතරෙ සැමියයි දරුවයි නෙදර්ලන්තයේ තනිකරලා මෙහෙ ආපු එක ගැන දොස් කියන උදවියත් ඉන්නවා. ඕන කෙනෙක්ට ඕන දෙයක් කියා ගන්න කියලා ලෝචනා එයා කරන්න ගත්ත වැඩ පාඩුවේ කරනවා.

අපේ රටේ මිනිස්සුන්ට හොඳක් කළත් ඒකෙ දොසක් මිසක් හොඳක් දකින්නෙ නෑ. මම මේ වැඩ කරන්නේ කාගෙන්වත් ලකුණු දාගන්නවත්, වෙන අරමුණක් හිතේ තියාගෙනවත් නෙමෙයි නිසා මට අනිත් අය කියන දේවල් අදාලම නෑ. දරුවා මගෙ ළඟ නෑ. අම්මා කෙනෙක් විදියට මම ඒ ගැන මාර විදියට විදෝනවා.

කොරෝනා නිසා මට දරුවයි, සැමියයි ළඟට යන්නත් බෑ. මොකද මම තවමත් ඒ රටේ පුරවැසියෙක් නොවන නිසා තාම මාව එහෙට ගන්නෙ නෑ. මම දරුවන්ට උදව් කරන්න හිතුවෙ මගේ දරුවා ගැන හිතලා. එයා නැති අඩුව දැනෙන්න සහ මට හිත හදා ගන්න තෝරා ගත්ත හොඳම ක්‍රමය තමයි මේක. කවුරු මොනවා කිව්වත් මම කරන්නෙ මට හරි කියලා හිතන දේ. කතා කියන අයගේ කතා මට අදාලම නෑ.

කොරහෙත් කිඹුල්ලු හොයන අයට ලෝචනාගෙ මේ උත්තරය ටිකක් සැර වැඩි වේවි කියලා අපට හිතුණා.

——————————————————————————–

දෙරණ රූපවාහිනියේ ආරම්භක සාමාජිකාවන් අතරෙ පුර්ණිකා පීරිස් කියන්නේ වැදගත් සාමාජිකාවක්. කෙටියෙන්ම කිව්වොත් දෙරණ පවුලේ හිතාදර සාමාජිකාවක්. පසුගිය කාලේ පූර්ණිකා දෙවන වරටත් මව් පදවිය ලැබුවා. ආදි බබාගෙ තනි නොතනියට මල්ලි බබෙක් ආවට පස්සේ අම්මට ටිකක් වැඩ වැඩි වුණා.

කොරෝනා අස්සෙ පූර්ණිකා සහ පේෂල මනෝජ් ඔවුන්ගෙ දරුවොත් පරිස්සම් කරගෙන වෘත්තියත් කරගෙන ඉන්න උත්සාහ ගන්නවා. ඒ අතරේ පූර්ණිකා පූර්ණකාලීනව රැකියාව කරපු දෙරණ නාලිකාවෙන් ඉවත් වෙලා. මවක් විදියට කාර්ය බුහුල වෙද්දි කාන්තාවන්ට කැපකිරීම් කරන්න සිද්ධ වෙනවා. පූර්ණිකත් කළේ ඒ වගේ කැප කිරීමක් වෙන්න ඇති.

දරුවොත් එක්ක ‍නිවසට වෙලා ඉන්න ඇය තමන්ගේ හැකියාවෙන්, දැනුමෙන් ප්‍රයෝජනයක් ගන්නත් රටේ අනාගත පරපුර වෙනුවෙන් ඒ දැනුම යොදවන්නත් තීරණය කරලා.

ඒ අනුව තමයි ඇය  පූර්ණිකා පීරිස් නමින් යූ ටියුබ් නාලිකාවක් ආරම්භ කරලා තියෙන්නේ. කොරෝනා අවසන් වෙනකන් පූර්ණිකාව යූටියුබ් එකෙන් හම්බවෙන්න ඔන්න එයාලගෙ රසිකයන්ට දැන් පුළුවන්.

——————————————————————————–

කොරෝනා වසංගතයට ජාති ආගම් ‍කුල බේද කිසිවක් නෑ. පුංචි ප්‍රමාදයකින් අතපසු වීමකින් ජීවිතේ ලොකු අනතුරක් කරන්න කොරෝනාවට පුළුවන්.

කලාකරුවන් කිහිප දෙනෙක්ම කොව්ඩ් ආසාධිතයො වුණා. කාගෙත් හිත් ගත් ගත් ජනහද ජයගත් සුනිල් පෙරේරා කලාකරුවා පහුගිය සතියේ කොරෝනාවටත් කළින් කොත්තමල්ලි වල ගුණ පවසා කොත්මල්ලි උගුරක්වත් නොබී නොඑන ගමන් ගියා.

gunawardana

මේ සති‍ය ආරම්භ වුණේ ගායන ශිල්පී නුවන් ගුණවර්ධනගේ පවුලම ආසාධිතයින් කරමින්. නුවන් ගුණවර්ධන රෝහල් ගතව ප්‍රතිකාර ලබද්දි ජනප්‍රිය ගායකයෙකු. නළුවෙකු වූ ඔහු පුත් ගයාන් ගුණවර්ධන සහ ගයාන් ගෙ මෑණියන් නිවසේම නිරෝධායනය වෙනවා.

ජනප්‍රිය තාරකාවක් වුණ ධනංජිටත් මේ වසංගතයෙන් බේරෙන්න නොහැකි වුණා. ඇය , ඇගේ සැමියා වගේම පවුලේ අයත් ‍ආසාධිතයන් වෙලා දැන් සුවය ලබමින් සිටින බවයි තතු දත් අය පවසන්නේ.

වසංගතයට ගොදුරු වුණ කලාකරුවන්ට විතරක් නෙමෙයි කොයි කාටත් ඉක්මන් සුවය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරනවා.

හිිමංගි සුලක්කනා

රසගඟුල