වසර 32 කට පසු අමිතාභ් බච්චන් සහ රජිනිකාන්ත් රඟපාන චිත්‍රපටයක්

මෙයට දශක කිහිපයකට පෙර ඉන්දියානු සිනමාවෙහි රජ කළ නළුවන් දෙදෙනෙකු ඉතා දිගු කාලයකට පසු නැවතත් එකම චිත්‍රපටයක රඟපෑමට යන බවක් වාර්තා වේ. මෙම නළුවන් දෙදෙනා නම් ශ්‍රී ලංකාවේ සිනමා ලෝලීන් අතර ද ඉමහත් ජනප්‍රියත්වයක් දිනා සිටින අමිතාභ් බච්චන් සහ රජිනිකාන්ත් ය. විශේෂයෙන් නවසිය හැත්තෑව අසූව දශකවල ඔවුන් දෙදෙනා ඉන්දියානු සිනමාව තුළ කිරුළු පළන් රජුන් දෙදෙනෙකු හා සමාන විය. අමිතාභ් බොලිවුඩයෙහි පෙරළි කරද්දී රජිනිකාන්ත් දකුණු ඉන්දියානු සිනමාව තුළ දැවැන්තයකුව සිටියේය. තවමත් ඔවුන් ඉතා කාර්යබහුල නළුවන් වන අතර ඔවුන්ගේ රංගනයන් දැක ගැනීමට සිනමා රසිකයෝ විශාල උනන්දුවක් දක්වති. මේ වනවටි අමිතාභ් 80 වැනි වියෙහි පසුවන අතර රජිනිකාන්ත්ගේ වයස අවුරුදු 72 කි.

ළඟදී රූපගත කිරීම් ආරම්භ කිරීමට නියමිත දකුණු ඉන්දියානු සිනමාපටයක මේ දෙදෙනා එකට රඟපෑමට බොහෝ දුරට ඉඩ ඇති බවක් පසුගිය දිනවල ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙම සිනමාපටය දැනට නම් කර ඇත්තේ ‘තලයිවර් 170’ යනුවෙනි. එය එලෙස නම් කර තිබෙන්නේ රජිනිකාන්ත් ප්‍රධාන චරිතයක් රඟපාන 170 වැනි සිනමාපටය වන බැවිනි. මෙම සිනමාපටයට අමිතාභ් ද සම්බන්ධ කර ගැනීම සඳහා නිශ්පාදකයන් මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවක් මාධ්‍ය සඳහන් කර තිබේ. යම් හෙයකින් එය සාර්ථක වුවහොත් මොවුන් දෙදෙනාගේ රසිකයන් තුළ විශාල සතුටක් සහ බලාපොරොත්තුවක් ඇති කිරීමට එය හේතු වනු ඇත.

අමිතාභ් සහ රජිනිකාන්ත් අවසන් වරට එකම චිත්‍රපටයක රඟපෑමේ මෙයට වසර 32 කට පෙර ය. ඒ හින්දි සිනමාපටයක් වූ Hum නැමැති චිත්‍රපටයේ යි. එය 1991 වසරේ තිරගත වූ චිත්‍රපටයකි. ‘අන්ධා කානූන්’ සහ ‘ගෙරෙෆ්තාර්’ ඔවුන් එකට රඟ පෑ තවත් චිත්‍රපට දෙකකි.

‘තලයිවර් 170’ හි රජිනිකාන්ත් රඟපාන්නේ මුස්ලිම් ජාතික පොලිස් නිලධාරියකුගේ චරිතයක් බව සඳහන් ය. මෙය සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වන සිනමාපටයක් බව ද මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. මෙම සිනමාපටය අධ්‍යක්‍ෂණය කරන්නේ දෙමළ සිනමාවේ දක්‍ෂ අධ්‍යක්‍ෂවරයකු වන ටී.ජී. ඥානවේල් ය. මෙයට පෙර ඔහු විසින් අධ්‍යක්‍ෂණය කරන ලද ‘ජායි භිම්’ වැනි චිත්‍රපට ප්‍රේක්‍ෂක විචාරක ප්‍රසාදය දිනා ගනිමින් අති සාර්ථක අයුරින් ප්‍රදර්ශණය විය.

රජිනිකාන්ත් සහ සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක කපිල් දේව් රඟපාන චිත්‍රපටයක් ගැන ද පසුගිය දිනවල විශාල කතාබහක් තිබිණි. ‘ලාල් සලාම්’ නැමැති මෙම සිනමාපටය අධ්‍යක්‍ෂණය කරන්නේ රජිනිකාන්ත්ගේ වැඩිමල් දියණිය වන අයිශ්වර්යා වීම ද විශේෂත්වයකි. ‘ලාල් සලාම්’ ක්‍රිකට් ක්‍රීඩාව සහ ජාතිවාදය ගැන කියැවෙන සිනමාපටයක් බව ද සඳහන් වේ. මාධ්‍ය වාර්තාවලින් පැවසුණේ එහි කපිල් දේව් කෙටි චරිතයක් නිරූපනය කරන බවයි. මෙම සිනමාපටයේ රූපගත කිරීම් මේ වනවිට සිදුවෙමින් තිබේ. එම කටයුතු අවසන් වීමෙන් පසු ඉහත කී ‘තලයිවර් 170’ රූ ගත කිරීම් ආරම්භ වනු ඇති බව සඳහන් වේ.

රජිනිකාන්ත් ගැන මේ දිනවල පැතිරෙන තවත් කතාවකින් පැවසෙන්නේ ඔහු ළඟදී සිනමා රංගනයෙන් සමුගැනීමට ද බලාපොරොත්තු වන බවයි. ඔහුගේ 171 වැනි සිනමාපටයෙන් පසු රජිනිකාන්ත් රඟපෑමෙන් විශ්‍රාම ගැනීමට අදහස් කරන බවක් එම ආරංචිවලින් පැවසේ. මේ සම්බන්ධයෙන් මුලින්ම ප්‍රකාශ කර තිබුණේ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙකි. ලෝකේෂ් කනකරාජ් අධ්‍යක්‍ෂණය කිරීමට නියමිත රජිනිකාන්ත්ගේ 171 වැනි චිත්‍රපටය බොහෝ දුරට ඔහුගේ අවසන් චිත්‍රපටය වීමට ඉඩ ඇති බවක් එම අධ්‍යක්‍ෂවරයා පවසා තිබිණි. රජිනිකාන්ත් සිනමාවට පිවිස මේ වනවිට වසර 50 කට ආසන්න කාලයක් ගත වී තිබේ. ඔහු රඟ පෑ පළමු සිනමාපටය වූ ‘අපූර්ව රාකන්කල්’ තිරගත වූයේ 1975 වසරේ යි. රජිනිකාන්ත් පසුගිය කාලයේ විවිධ සෞඛ්‍ය ගැටලුවලින් පීඩා විඳි බවක් ද වාර්තා විය.

මෙම සුපිරි නළුවා රඟපාන අලුත්ම සිනමාපටයක් ලබන අගෝස්තු මාසයේ ප්‍රේක්‍ෂකයන් හමුවට පැමිණීමට නියමිතය. ඒ ‘ජේලර්’ නැමැති සිනමාපටය යි. ජනප්‍රිය මලයාලම් නළුවකු වන මොහාන්ලාල් ද මෙහි කෙටි චරිතයක් නිරූපනය කරයි. මාධ්‍ය සඳහන් කරන ආකාරයට‘ජේලර්’ චිත්‍රපටයට පසුබිම් වන්නේ සිරගෙයකින් පැන යාමට සැලසුම් කරන දාමරික කල්ලියක් සහ ජේලර්වරයකු අතර ඇතිවන ගැටුමකි.

නිහාල් පීරිස්

රසගඟුල