වැඩි මහන්සියක් නැතිව යා හැකි ලංකාවේ සුන්දර දිය ඇල්ලක් සහ කන්දක්

කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉතාමත් සුන්දර ස්ථානයකටයි ඔබව මේ කැඳවාගෙන යන්න හදන්නේ. ස්ථානයක් කිව්වට මොකද මේ කියන්න යන්නේ නම් ස්ථාන දෙකක් පිළිබඳව යි. මේ ස්ථාන දෙකම එක ආසන්නයේ පිහිටා තිබෙනවා. ඒ වවුලුගල කන්ද සහ ඕලු ඇල්ල.
යටියන්තොට සිට පැලම්පිටිය පාරේ අමනාවල පැත්තට කිලෝමීටර් 16ක් පමණ යනවිට වවුලුගල කන්ද හොඳින් දැක බලා ගන්න ලැබෙනවා. 52 කන්ද කියලත් වවුලුගල කන්ද හඳුන්වනවා.
පාරවල් කීපයකින්ම වවුලුගල කන්දට යන්න පුළුවන්.
යටියන්තොට සිට මල්ලපොල හරහා සීෆෝත් පාරේ ඕලු ඇල්ල පසුකර ඉදිරියට යන විට පත්තිනි දේවාලයක් හමුවෙනව.ඒ දේවාලය මඳක් පසුකර යන විට වම් පැත්තට තියෙන පාරෙන් වවුලුගල කන්දට යන්න පුළුවන්.
ඒ වගේම දේදුගල රත්ගල පැත්තෙන් කළුපහන වත්ත හරහා එන ඕෆ්රෝඩ් පාරකිනුත් කන්ද උඩටම එන්න පුළුවන්.
වඩාත් ලේසිම පාර තමයි ඕලු ඇල්ලට කිලෝමීටර් දෙකක් විතර කලින් හමුවෙන පේරගස් හන්දියෙන් වමට හැරිලා යනකොට හමුවන දොඹේපොළ කනිෂ්ඨ විද්‍යාලය ළඟින් වම් පැත්තට තියෙන පාරේ උඩට යන එක. මේ පාර අවසන් වන තැන දක්වාම බයික් එකකින් හරි ත්‍රීවීලර් එකකින් හරි යන්න පුළුවන්. එතන ඉඳන් තව ටික දුරක් පයින් යන්න ඕනේ.
කන්දට පැය භාගයක් වැනි කාලයකින් නගින්න පුළුවන්. කන්දක් කිව්වට මේක ගලක්. ගල පාමුලම තිබෙන්නේ වී ඔය. මේ වී ඔය ළඟ ඉඳලා ගත්තොත් වවුලුගල කන්ද මීටර් දෙසීයකටත් වඩා උස තනි ගල්තලාවක්.

සරුවට වැඩුණු පහතරට තේ වතු, කරාබු වතු පසුකර ගෙන තමයි කන්ද නගින්න තියෙන්නේ. කන්ද උඩ ලොකු ගස් ඉතාම අඩුවෙන් තිබුණත් ඒ තැනිතලාවේ මානා වැනි ලොකු තෘණ ගස් බහුලව තිබෙන නිසා මුළු වවුලුගම කන්දම තනි කොළ පැහැයෙන් තමයි දිස්වන්නේ. ඒ වගේම කන්ද උඩ දියපාරවල්ද ගලා ගෙන යනවා. මීදුම නැති, පරිසරය ඉතා හොඳින් පැහැදිලිව තිබෙන දවසකදී අංශක 360 ක වීව් එකක් පහසුවෙන්ම දැක බලා ගන්න පුළුවන්. එය ඉතාම සුන්දර දර්ශනයක් .
වවුලුගල කන්දේ දොඹේපොල පැත්තට තිබෙන කෙළවරට ආවම වෑවියතලාව වීව්පො‍යින්ට් එක දැක ගත හැකියි. මේ කන්ද මුදුනට පැමිණි කල දිස්වන ඉතා සුන්දර දර්ශන අතරින් දේදුගල, දොළොස්බාගෙ කඳු, නකල්ස් කඳු පන්ති, අම්පානගල කඳු, දකුණු පසින් වී ඔය නිම්නය, කැලණි වැලි නිම්නය ද වෙනවා. කොටස් හතරකින් පමණ යුතුව ගලා බසින ඕලු ඇල්ල මෙහි සිට ඉතා පැහැදිලි ව දැකබලා ගත හැකියි. ඒවගේම ඕලු ඇල්ල මතින් වැටී ඇති දැනට ලංකාවේ භාවිතා කරන පැරණිම ලී පාලම, වී ඔය ඇල්ල, මලල්පොළ ඇල්ල, වේවැල්තලාව, හල්ගොල්ල තේ කර්මාන්ත ශාලාව ආදී වූ තවත් සුන්දර ස්ථාන රැසක්ම ඔබට ඉතා පහසුවෙන් වවුලුගල කන්දේ සිට දැක බලා ගන්න ලැබේවි.

මේ කන්දේ පහසුවෙන්ම කෑම්පින් කරන්න පුළුවන්. නමුත් වැසි කාලයට ගල උඩට අකුණු වදින නිසා හොඳින් පායන කාලයට මිසක් වහින කාලයට කෑම්පින් සුදුසු නෑ.
වවුලුගල කන්ද ගැන කතා කරන විට ඕලු ඇල්ල ගැනත් නොකියාම බෑ.
මේ කන්ද පාමුලින් වී ඔය ගලාගෙන යන බව අපි ඉහත සඳහන් කළා. ඕලු ඇල්ලේ ජල මූලාශ්‍රය තමයි මේ වී ඔය. කැලණි ගඟට සම්බන්ධ වන වී ඔයේ අතුගංගාවකින් ඕලු ඇල්ල නිර්මාණය වෙනවා. එය ආරම්භ වන්නේ අම්පාන රක්ෂිතයෙන්. ඕලු ඇල්ලේ උස මීටර් 127 ක් ලෙස ඇතැම් තැනක සඳහන් වන අතර තවත් තැනක දැක්වෙන්නේ එහි උස මීටර් 200 ක් බවයි. මේ නිසාම ලංකාවේ දිය ඇලි අතරින් උස අනුපිළිවෙළට අනුව ඕලු ඇල්ල පස්වෙනි ස්ථානයේ පවතින බව සේම, තවත් තැනක සඳහන් වන්නේ ඕලු ඇල්ල ලංකාවේ දියඇලි අතරින් හය වෙනියාට උස දිය ඇල්ල ලෙසිනුයි.
අවිස්සාවේල්ල පැත්තෙන් යනව නම් දැරණියගල පාරේ ටික දුරක් යන විට හමුවන බුලත්කොහුපිටිය පාරෙන් ඕලු ඇල්ල වෙත යා හැකියි. බුලත්කොහුපිටිය පාරේ කිලෝමීටර් 5ක් පමණ යන විට තුන්මංහන්දියක් හමුවෙනවා. එතනින් දකුණට හැරිලා තව කි. මී. 14 ක් පමණ ගිය විටදී ඕලු ඇල්ල ආසන්නයෙන්ම දැක බලා ගත හැකියි. කුඩා කුඩා දිය ඇලි කිහිපයක් එකතු වීමෙන් නිර්මාණය වී තිබෙන නිසා එකිනෙකට ආසන්නයෙන් පිහිටි දිය ඇලි හතරක් ආකාරයට මේ දිය ඇල්ල කඩා හැලෙන්නේ අමුතුම සුන්දරත්වයක් පරිසරයට එකතු කරමිනුයි.

ඕලු ඇල්ලට යන ගමනේදී ස්වභාවිකව ඉදි වූ නාන තටාකයක් දකින්නට ලැබෙනවා. මේක හරිම ලස්සනයි. ඒ වගේම මාළුන්ගෙන් පිරී පවතිනවා.
ලංකාවේ පැරණිතම දැව පාලම තිබෙන්නේ මේ ඕලු ඇල්ල උඩිනුයි. ඉංග්‍රීසීන් විසින් තේ දළු ප්‍රවාහනය සඳහා ඕලු වැල්ල හරහා මේ ශක්තිමත් දැව පාලම ඉදිකර තිබෙන අතර අපේ රටේ දැනට භාවිතයට භාවිතයට ගන්නා පැරණිතම දැව පාලමත් මෙයයි. යටියන්තොට පරුස්සැල්ල දුනුගල මාර්ගයේ ඕලු ඇල්ල මත ඉදිකර ඇති මෙම දැව පාලම මීටර් 18. 5 ක දිගකින් යුතුයි . මෙහි පළල මීටර් 5.8 යි. බර වාහන පවා මේ පාලම මතින් තවමත් ගමන් කිරීම තුළම ඉංග්‍රීසීන් මෙය මොන තරම් ශක්තිමත්ව ඉදිකරන්නට ඇතිද යන්න ඔබට සිතාගත හැකි වේවි. යටියන්තොට සිට සීෆෝත් මාර්ගයේ පැමිණ මේ පාලම උඩදී ඕලු ඇල්ල ඉතාමත් හොඳින් නරඹන්න පුළුවන්. තදින් වැසි තිබෙන කාලයට ඕලු ඇල්ලේ වතුර මෙම පාලම උඩිනුත් ගලා යාම විශේෂත්වයක්.

ඡායාරූප අන්තර්ජාලයෙනි.

ඉන්දු පෙරේරා

හරිත දනව්ව