වෘෂණ බද්ධ කරන කතාව ඇත්තක් ද?

wusana-kosa

හදවත්,වකුගඩු, අක්මාව, පෙනහලු ඇට මිදුළු වැනි ඉන්ද්‍රියයන් බද්ධ කිරීම පිළිබඳ අපි ඕනෑ තරම් අසා ඇත්තෙමු. මින් හදවත් පෙනහලු, ඇටමිදුළු බද්ධ කිරීම අපේ රටේ දැකිය නොහැකි තරම් ය.
මෙලෙස ඉන්ද්‍රියයන් බද්ධ කිරීම සම්බන්ධයෙන් දැන් අලුතින්ම ඇසෙන කතාව වන්නේ වෘෂණ බද්ධ කිරීම ය. අනෙක් අවයව මෙන් නොව, කාන්තාවකට දරුවකු ලබා දීම සඳහා හැකියාවක් නොමැති පිරිමින්ට වෘෂණ බද්ධ කර ගැනීම සඳහා ලබා දීමෙන් රුපියල් කෝටියකට අධික මුදලක් උපයා ගැනීමට හැකි බව විවිධ ජනමාධ්‍ය මගින් ප්‍රචාරය වෙමින් පවතී.වර්තමානයේ රට තුළ පවත්නා ආර්ථික අර්බුදය හමුවේ යම් පුද්ගලයකු හට රුපියල් කෝටියකට අධික මුදලක් උපයා ගත හැකි ධනෝපායන මාර්ගයක් සේ බැලූ බැල්මටම පෙනෙන බැවින් මේ සම්බන්ධයෙන් පොදු සමාජ අවධානය යොමු වීමේ අරුමයක් නැත.

සාමාන්‍යයෙන් හදවත්, වකුගඩු, පෙනහලු, ඇටමිදුළු, අක්මාව ආදි ඉන්ද්‍රියයන් ගේ දෝෂ තත්ත්වයන් හෝ රෝග තත්ත්ව මත එවන් ඉන්ද්‍රියකට හානි පැමිණීම වැනි හේතු මත බොහෝ විට එවැනි අවයව බද්ධ කිරීම සිදුවෙයි. ඒවා ලොව පුරා සිදු කෙරෙන සැත්කම් ය. නමුත් මේ ආකාරයට වෘෂණ බද්ධ කිරීමක් පිළිබඳව ලොව කිසිදු රටකින් අසන්නට ලැබෙන්නේ නැත. මෙය ප්‍රතිකාරයක් ලෙසින් තබා අඩු තරමින් පර්යේෂණ මට්ටමින්වත් සිදු වන්නක් නොවේ.එනිසා බද්ධ කිරීම සඳහා වෘෂණ අධි මිලකට අලෙවි කළ හැකිය යන්න වගකීම් රහිත මාධ්‍ය විසින් දැන හෝ නොදැන ඉතා බාල අන්දමේ ප්‍රචාරයක් ලබා ගැනීමේ උපක්‍රමයක් මත සිදු කරන්නක් බව කිව හැකිය.
මෙවැනි විවිධ ප්‍රචාර කලින් කලට නොයෙක් නොයෙක් ආකාරයෙන් අපේ රටේ ඉස්මතු වෙයි. කැලණි ගඟෙන් මතු වූ නාගයා මෙන්ම වඳ කොත්තු, වඳ යට ඇඳුම්, ධම්මික පැණිය ආදිය මෑත කාලයෙන් අපට ගත හැකි නිදසුන් ය. මෙවැනි මිථ්‍යා අදහස් ගහන සිද්ධිවලට විශාල වශයෙන් ප්‍රචාරයක් ද ලැබිණි. මෙය ද එවැන්නකි.

අපේ රටේ පවතින දරුණු ආර්ථික අර්බුදය නිසා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දරිද්‍රතාවයෙන් පෙළෙති. එදිනෙදා ආහාර වේලවත් සපයා ගත නොහැකිව ජනතාව මහත් අසීරුවට පත්ව සිටින කාලයක ඔවුන් නොමග යැවීම සඳහා වගකීම් විරහිත යම් යම් මාධ්‍ය මෙබඳු අසත්‍ය ප්‍රකාශ කරනු ලැබීම අතිශයින් ඛේදජනක ය.එමෙන්ම “රටේ ජනතාවට තමන්ගේ වෘෂණ කෝෂ විකුණා ගෙන කන්නට සිදු වීම” යන්නෙහි පවතින කටුක උපහාසාත්මක බව සලකා ද යමකු මෙය ප්‍රබන්ධය කළා වන්නට පුළුවන.

යම් යම් අවස්ථාවල වෘෂණ වල ඇතිවන පිළිකාමය තත්ත්වයන් නිසා සහ පුරස්ථි ග්‍රන්ථියේ පිළිකාවලට ප්‍රතිකාරයක් ලෙසත්, හදිසි අනතුරු නිසාත් වෘෂණ ශල්‍යකර්ම මගින් ඉවත් කිරීමට සිදුවන අවස්ථා යෙදේ. පුරුෂයන්ගේ ලිංගික කටයුතු සම්බන්ධව වැදගත් කාර්යයන් කිහිපයක්ම වෘෂණ මගින් ඉටු කරන අතර ශුක්‍රාණු නිපදවීම සහ ටෙස්ටොස්ටරෝන් හෝමෝනය නිපදවීම ඉන් ප්‍රධාන තැනක් ගනී. නමුත් මෙතෙක් ලොව පුරාම වෘෂණ බද්ධ කිරීම් සිදු කර ඇත්තේ ඉතාමත් අතලොස්සකි. එසේ වුව ද ශ්‍රී ලංකාවේ එවැනි සැත්කම් මෙතෙක් සිදුවී නොමැත.1978 දී සර්ව සම නිවුන් පිරිමි දරු දෙදෙනකුගේ උපතක දී එක් දරුවකුට වෘෂණ පිහිටා නොතිබීම මත අනෙක් දරුවාගේ වෘෂණ දෙකෙන් එකක් එම දරුවාට බද්ධ කර තිබේ. 2019 දී ද සර්ව සම නිවුන් පිරිමි දරු උපතකදී එවැනි සැත්කමක් සිදුකර ඇත.

මෙයින් පැහැදිලි වන්නේ සර්ව සම නිවුන් පිරිමි දරු උපත් සිදු වූ අවස්ථාවල එක් පිරිමි දරුවකුට වෘෂණ පිහිටා නොතිබුණු විට අනෙක් දරුවාගෙන් වෘෂණයක් ගෙන බද්ධ කිරීම වැනි අවස්ථාවකදී මිස වෘෂණ බද්ධ කිරීමක් ලෝකයෙහි සිදු වී නොමැති බව ය.කොටින්ම හදිසි අනතුරකින් යමකුගේ වෘෂණ කෝෂ විනාශ වීමක දී පවා ඒවා බද්ධ නොකෙරේ.ඒ දරු ඵල සඳහා වන පුරුෂ සඵලතාව සඳහා නවීන ඖෂධ සහ ප්‍රතිකාර කොතෙකුත් ඇති බැවිනි. එවැනි තත්ත්වයක් මත වෘෂණ අධි මිලකට විකිණිය හැකිය යන්න බොරු ප්‍රචාරයකි. මෙවැනි දේවල් ජනමාධ්‍ය මගින් කලින් කලට ප්‍රචාරය පිණිස සිදු කරන ඒවා මිස මෙහි සත්‍යයක් නොමැති බව සැලකිය යුතු වේ.

හෘද රෝග විශේෂඥ මහාචාර්ය නාමල් විජයසිංහ

සටහන:ඉන්දු පෙරේරා

එතෙර - මෙතෙර