ශ්‍රී ලංකාවට ආසන්න හොල්මන් නගරය ධනුෂ්කොඩි

අතහැරදැමූ හොල්මන් නගරවලට පිවිසෙන අමුත්තන් අවසානයේ ඒ නගරයේම හොල්මන් බවට පත්වන කතා අප චිත්‍රපටවලින් ඕනෑතරම් දැක ඇත්තෙමු. චිත්‍රපටය අවසන් වූ පසු අප සිතන්නේ මේවා චිත්‍රපට පමණක් ය කියා ය. සැබවින්ම හොල්මන් නගර පිහිටිය හැකිදැයි අපි අපෙන්ම ප්‍රශ්න කරගන්නෙමු. නමුත් සැබවින්ම හොල්මන් නගර ලෝකයේ ඕනෑතරම් තිබේ.

කෙටියෙන් පවසතොත් අපේ අතපොවන මානයේම වාගේ පිහිටා තිබේ. ඒ දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවට අයත් පම්බාන් අර්ධද්වීපයේ ය. අපේ රටේ සිට කිලෝමිටර් 18ක් පමණ නුදුරින් පිහිටි මේ අතහැර දැමූ හොල්මන් නගරය නමින් ‘ධනුෂ්කොඩි’ ය. අද අප පිවිසෙන්නේ මේ අද්භූත නගරයටය.

1964 දෙසැම්බර් 22 වැනිදා රාත්‍රිය වන තෙක් මේ නගරය ලෝකයේ අනෙකුත් නගර මෙන්ම ජීවමානව පැවතුණි. එය කාර්යබහුල විය. දුම්රිය ස්ථානයක්, උසස් ද්වීතියික පාසලක්, රෝහලක්, පල්ලියක් හා කෝවිල් කිහිපයක් ද පැවතුණි. එපමණක් නොව අප රටේ මන්නාරම් ජැටියේ සිට මේ නගරය දක්වා දුම්රිය සේවයක් ද පැවතිණි. දකුණු ඉන්දියාවට යාම සඳහා අප රටේදීම ප්‍රවේශපත්‍ර මිල දී ගැනීමේ හැකියාව තිබිණි. ඒ රාත්‍රියේ ධනුෂ්කොඩියේ ඉරණම තීරණය විය.

එදින රාත්‍රියේ අතිප්‍රබල සුළිසුළඟක් මේ ප්‍රදේශය පුරා හමාගියේය. එය පැයට කිලෝමීටර් 270 ක් තරම් වේගවත් විය. මුහුද රළ අඩි 20 ක් තරම් ඉහළට නැගුණේ ය. ඒ වන විට පම්බාන් පාළම මතින් දුම්රියක් ගමන් කරමින් තිබුණු අතර වේගයෙන් නැගි මුහුදු රළ ක්ෂණිකව දුම්රිය බිලිගත්තේ ය. එහි ගමන් කළ 115 දෙනෙක් පමණ මිය ගියහ. සුළිසුළඟට හසුව මේ අර්ධද්වීපයේ සිටි 1800 ක් පමණ දෙනෙක් මරුතුරුළට වන්හ.

ඒ රාත්‍රියෙන් පසුව මුළු ධනුෂ්කොඩියම පාළු නගරයක් බවට පත් විය. මියගිය දහසක් දෙනාගේ විලාපදෙන ආත්ම, නගරයේ සැරිසරණ බවට රාවයක් පැතිර ගිය හෙයින් කිසිවකු මේ නගරයට ඇතුළුවීම ට බිය පළකළහ. එවැනි අද්භූත අත්දැකීම් ලබාගනු රිසියෙන් රාත්‍රියේ මේ නගරයට පැමිණි බොහෝ දෙනා අත්දුටු බියකරු දෑ නිසා රජය මගින් නීති පද්ධතියක් ද හඳුන්වා දෙන්නට පියවර ගනු ලැබිණි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස සවස පහෙන් පසුව ධනුෂ්කොඩි නගරයට ඇතුළුවීම තහනම් කෙරුණි. මෙහි කිසිවකු නතරවීම අධෛර්යමත් කරනු වස් මෙය තුළ නවාතැන් පහසුකම් ලබාදීම අත්හිටුවනු ලැබිණි.

මේ බොහෝ අත්භූත කතා මෙහි පැමිණෙන්නන් විසින් ගොතන ලද ඒවා බැව් පසුව අනාවරණය විය. ශ්‍රී ලංකාව සහ ඉන්දියව අතර දුරින් අඩුම ස්ථානය ධනුෂ්කොඩි නිසා ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර හොරජාවාරම් කටයුතු සිදුවන්නේ මේ ඔස්සේ බව නොරහසකි. මෙවැනි අද්භූත පසුබිමක් මේ නගරය ආශ්‍රිතව නිර්මාණය කිරීමෙන් හොර ජාවාරම්කරුවන්ට නිදහසේ සිය වැඩකටයුතු කරගෙන යාමට හැකියාව නිතැතින්ම හිමි වේ.

කෙසේ නමුත් ඒ බියකරු සිද්ධියෙන් පසුව මේ වන විට අඩසියවක් පමණ ගත වී හමාරය. ධනුෂ්කොඩි නගරය තවමත් අතහැර දැමූ පාළු නගරයක් වුව ද මේ වන විට යම් සංචාරක ආකර්ෂණයක් මෙය කෙරෙහි වර්ධනය වෙමින් පවතී. ඒ මෙහි ඓතිහාසික පසුබිම නිසාය. ඓතිහාසික පුරාවෘත්තවලට අනුව රාම කුමරු රාවණ රජු සමග යුද්ධ කරන්නට ගමන ආරම්භ කළේ මේ නගරයේ සිටය.

පාවෙන ගල්වලින් ධනුෂ්කොඩි සහ ශ්‍රී ලංකාවේ මන්නාරම් තුඩුව සම්බන්ධ කරමින් පාළමක් තැනූ බැව් පැවසේ. මෙවැනි පාවෙන ගල් මේ ප්‍රදේශයේ අදටත් දකින්නට ලැබේ. රාම කුමරු විසින් රාවණා රජු පරාජයට පත්කරනු ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ පාලකයා බවට පත්කරවන ලද්දේ විභීෂණ ය.

විභීෂණ යනු රාවණ රජුගේ සොහොයුරා වුවත්, මේ සටනේ දී ඔහු රාමකුමරුට සහාය පළ කළේය. විභීෂණ ශ්‍රී ලංකාවේ පාලකයා බවට පත් වූ පසු ගල් පාළම බිඳ දමන්නැයි රාම කුමරුගෙන් ඉල්ලා සිටි අතර ඔහු සිය දුන්නේ කෙළවරෙන් ගසා මේ ගල්පාළම බිඳ දැමූ බැව් පැවසේ. ‘ධනුෂ්’ යනු දුන්න යන අරුතැති වදනයක් වන අතර ‘කොඩි’ යනු කෙළවර යන අර්ථය ගෙන දේ. මේ නගරයේ නම නිර්මාණය වී ඇත්තේ ඒ ආකාරයටය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

අරුමැසි පුවත්