
කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් 849 D බෝගොඩකන්ද ග්‍රාමසේවා වසම තුල පිහිටා ඇති යෝජිත නාවලකන්ද පරිසර සංවේදී කලාපය ලංකාවේ ඉහලම ජෛව විවිධත්වයක් දක්නට ලැබෙන පහතරට තෙත් කලාපය පෝශණය කරන කඳුකර වනාන්තර පද්ධති කිහිපයකින්ම ආවරණය වී ඇති මානව ජනාවාස සහ වගාබිම් සහිත සුවිශේෂි පරිසර පද්ධතියක් වේ.
මෙම සුවිශේෂී පරිසර පද්ධතිය තුල වෙන් වෙන්ව පවතින කුඩා ප්‍රමාණයේ කඳුකර වනාන්තර බිම් කොටස් හතක් මූලික කරගනිමින් 2014 මාර්තු මස 26 දිනැති අංක 1855/25 දරණ ගැසට් පත්‍රය මගින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මීගහතැන්න සංරක්ෂිත වනාන්තරය නමින් ප්‍රකාශයට පත්කර ඇත. මෙම පරිසර කලාපය ඉහල ශාක සහ සත්ත්ව විවිධත්වයකින් සමන්විත වන අතර මෙරටට ආවේණික සත්ත්ව හා ශාක විශේෂ විශාල සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂිත වනාන්තර ලෙස ගැසට් කර ඇති වනාන්තර කොටස් මානව ජනාවාස, වගාබිම් සහ අනෙකුත් භූමි භාවිතයන් හේතුවෙන් එකිනෙකින් වෙන්ව පවතින බැවින්, මෙම පරිසර පද්ධතියේ ස්වාභාවික පාරිසරික සම්බන්ධතාව සැලකිය යුතු ලෙස බිඳ වැටී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස පාරිසරික ක්‍රියාවලීන්ට බාධා එල්ල වීම හේතුවෙන් පරිසර පද්ධතියේ ස්ථායීතාව සහ ඔරොත්තු දීමේ හැකියාව ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතී. වර්තමානයේ මෙම කලාපය අතීතය සමඟ සසඳන විට කෙටි වියළි කාලසීමාවන් තුළ පවා ජල මූලාශ්‍ර වේගයෙන් සිඳී යාම, වන සතුන්ගේ වාසස්ථාන හා ආහාර සම්පත් සීමා වීම හේතුවෙන් ඔවුන් වගාබිම් හා ජනාවාස වෙත වැඩි වශයෙන් පිවිසීම වැනි තත්ත්වයන් නිරීක්ෂණය කළ හැකි අතර, ඒවා පරිසර පද්ධතියේ ස්වාභාවික සම්බන්ධතාව බිඳ වැටීමේ ප්‍රතිවිපාක ලෙස සැලකිය හැකිය.

මෙම කරුණු අවබෝධ වීම නිසාවෙන් නාවලකන්ද සොබා රක්‍ෂණ සංසදයේ සාමාජීකයන් විසින් යෝජිත නාවලකන්ද පරිසර සංවේදී කලාපය තුල විවිධ වූ සංරක්ෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් මෙම සුවිශේෂී පරිසර කලාපය සංරක්ෂණය කර රැකගැනීම සඳහා කටයුතු කරමින් සිටී.
නාවලකන්ද සොබා රක්‍ෂණ සංසදයේ සාමාජීකයෙකු වන බලගල ගම්මානයේ පදිංචි චන්දිමාල් ඉන්දික මහතා විසින් මෙම යෝජිත නාවලකන්ද පරිසර සංවේදී කලාපයයේ පාරිසරික සමතුලිතතාවය ක්‍රමක් ක්‍රමයෙන් බිඳ වැටීම ආරම්භ වී ඇති බව වටහා ගනිමින් එය වලක්වා ගැනීම සඳහා ඔහුට හැකි අයුරින් දායකත්වය දැක්වීමට ඔහු ජීවිකාව ගෙන යාම සඳහා ආදායමක් ලබා ගත් පාරම්පරික උරුමයෙන් ඔහුට ලැබුන ඔහුගේ රබර් ඉඩම තවදුරටත් වානිජව සංවර්ධනය නොකර රක්ෂිත වනාන්තරයක් බවට පත්කිරීමට ස්ව කැමැත්ත පල කරන ලදී.

ඔහුගේ එම රබර් වගාකර ඇති ඉඩම දැනට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර කැබලි දෙකක් වන මීගහතැන්න සංරක්ෂිත වනාන්තරයේ බලගල්ලේ කන්ද සහ බොල්හේන් කන්ද යන වනාන්තර කොටස් දෙකට මැදිව පිහිටා ඇත. මෙම රබර් වගා ඉඩම වනාන්තරයක් ලෙස පවත්වා ගැනීමෙන් මෙම වනාන්තර කැබලි දෙක යා කිරීමටද හැකියාව ඇත. එයට අමතර පසුගිය දිනක නාවලකන්ද වනාන්තර පද්ධතියෙන් සොයාගත් හිනිදුමට පමණක් ස්ථානීය අවේනිකව පැවති ශාක විශේෂයක් වන Henckelia wijesundarae ශාක විශේෂය සහ සජීවී නිදර්ශක සොයා ගැනීමට නොහැකිව තිබූ Strobilanthes rhytisperma යන ශාක විශේෂ දෙකම මෙම භූමිය තුලින් හමුවේ එමනිසා මෙම භූමිය රක්ෂිත ස්භාවයෙන් පවත්වා ගැනීම එම ශාක විශේෂ සංරක්ෂණයටද දායක වේ. තවද බෙන්තර ගංගාව පෝශණය කරනා බලගල දොලෙහි ප්‍රධානතම ජල පෝශක කලාපය තුල පිහිටි භූමියක් නිසාවෙන් මෙම භූමිය රක්ෂිත ස්භාවයෙන් පවත්වා ගැනීම ජලපෝශක කලාපය ස්ථායිව පවත්වා ගැනීමටද දායක වේ.

චන්දිමාල් ඉන්දික මහතා විසින් රක්ෂිත වනාන්තරය බවට පත් කිරීමට ලබා දුන් ඔහුගේ රබර් ඉඩම නාවලකන්ද සොබා රක්ෂණ සංසදය විසින් ඩිල්මා සංරක්ෂණ ආයතනයේ ඇන්දාන ජෛව විවිධත්ව මංපෙත (Endane Biodiversity Corridor) ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන තර්ජිත ශාක සංරක්ෂණ වැඩසටහනේ සහයෝගයද ඇතිව විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුකූලව රක්ෂිත වනාන්තරයක් බවට පත් කිරීමේ ආරම්භක වැඩසටහන ලෙස ප්‍රදේශයේ ජෛව විවිධත්වයට ගැලපෙන්නා වූ ආවේණික සහ දුර්ලභ ශාක විශේෂ වන බෙරලිය, දොරණ, කොරකහ, මැන්ඩෝරා, කළුවර, දුන්, මොර ඇතුළු ශාක විශේෂයන්ට අයත් පැල 250ක් රෝපණය කිරීමේ වැඩසටහනක් වර්ෂ 2026 ජගත් පරිසර සතියට සමගාමීව 2026.06.12 වන දින ක්‍රියාත්ම කරන ලදී.

වලල්ලාවිට ප්‍රාදේශීය සභා සභාපති සුනිල් අබේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ මෙම පැල සිටුවීමේ වැඩසටහන සදහා වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිසර නිලධාරිනී නිසංසලා සඳරේකා මහත්මිය, 849 D බෝගොඩකන්ද ග්‍රාමසේවා වසමේ ග්‍රාම නිලධාරී හසිත තෙන්නකෝන් මහතා ඇතුළු රාජ්‍ය නිලදාරීන් සහ ඩිල්මා සංරක්ෂණ ආයතනයේ ඇන්දාන ජෛව විවිධත්ව මංපෙත ව්‍යාපෘතියේ අමිල පෙරේරා මහතා සහ රුවනි ජයසූරිය මහත්මිය, නාවලකන්ද සොබා රක්‍ෂණ සංසදයේ සාමාජිකයන් ඇතුළු ගම්වාසීන් සහභාගී විය.

වර්තමානයේදී බොහෝ පුද්ගලයන් තම පෞද්ගලික අවශ්‍යතා සහ ආර්ථික වාසි වෙනුවෙන් වනාන්තර හා ස්වාභාවික පරිසරය විනාශ කරමින් කටයුතු කරන පසුබිමක, තම ජීවනෝපාය සඳහා දීර්ඝ කාලයක් දායක වූ රබර් වගා ඉඩමක් ස්වේච්ඡාවෙන් රක්ෂිත වනාන්තරයක් බවට පත් කරමින්, දැනට වෙන්ව පවතින සංරක්ෂිත වනාන්තර කොටස් දෙකක් යා කිරීමට චන්දිමාල් ඉන්දික මහතා ගෙන ඇති මෙම තීරණය මෙම අවස්ථාවට සහභාගී වූ සියලු දෙනාගේ මහත් ඇගයීමට ලක්විය. ස්වකීය ආර්ථික ප්‍රතිලාභවලට වඩා අනාගත පරපුර වෙනුවෙන් පරිසර සංරක්ෂණයට ප්‍රමුඛත්වය ලබාදෙමින් ගෙන ඇති මෙම පියවර, පෞද්ගලික ඉඩම් භාවිතය හරහාද පරිසර සංරක්ෂණයට දායක විය හැකි බවට කදිම ආදර්ශයක් ලෙස ද සැලකේ.
නාවලකන්ද සොබා රක්ෂණ සංසදය විසින් මෙම භූමිය රක්ෂිත වනාන්තරයක් බවට පත් කරමින් යෝජිත නාවලකන්ද පරිසර සංවේදී කලාපය සංරක්ෂණය කර රැකගැනීම සඳහා ඉදිරියටත් කටයුතු කරමින් සිටී.
පේශල පසන් කරුණාරත්න
සභාපති
නාවලකන්ද සොබා රක්ෂණ සංසදය
නාවලකන්ද