ඩෙංගු “රතු එළි” දල්වයි: ශ්‍රී ලංකාව පුරා ඩෙංගු අධි වසංගත තත්ත්වයක්


ශ්‍රී ලංකාව පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය මේ වනවිට බරපතළ අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කර තිබේ. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ දෛනිකව වාර්තා වන රෝගීන්ගේ සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළ යාම හේතුවෙන් මෙම තීරණයට එළඹි බවයි. පසුගිය 15 වන දා වන විට දිවයිනේ ඩෙංගු අධි අවදානම් කලාප 74ක් ලෙස නම් කර තිබුණ ද, වසංගතයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ එම සංඛ්‍යාව මේ වනවිට කලාප 84ක් දක්වා ඉහළ ගොස් ඇත. වෛද්‍යවරුන් පවසන පරිදි රෝගීන්ගේ මෙම ශීඝ්‍ර නැගී ඒම හමුවේ රෝහල්වල ධාරිතාව ද මේ වනවිට උපරිම මට්ටමට ළඟා වී ඇති අතර, සෞඛ්‍ය පද්ධතියට ඉන් එල්ල වී ඇත්තේ දැඩි පීඩනයකි.

සංඛ්‍යාත්මක දත්ත දෙස බැලීමේදී තත්ත්වයේ බරපතළකම මනාව පැහැදිලි වේ. 2026 ජනවාරි මාසයේ සිට ජූනි මස මුල වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 37,000 ඉක්මවා වාර්තා වී තිබූ අතර, ජූනි 7 වන විට එය 35,000 සීමාව පසු කරමින් පැමිණ, මේ වනවිට මුළු රෝගීන් සංඛ්‍යාව 42,000 සීමාව ද ඉක්මවා ගොස් ඇත. ඉකුත් මැයි මාසයේදී පමණක් රෝගීන් 8,000කට වැඩි පිරිසක් වාර්තා වී ඇති අතර ජූනි මස මුල වන විට වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 20කි. ශ්‍රී ලංකාවේ මීට පෙර ද 2017, 2019 සහ 2023 යන වසරවල මෙවැනි අධි වසංගත තත්ත්වයන් ඇති වූ අතර, විශේෂයෙන්ම 2017 වසරේදී මෙරට ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව (186,000) සහ මරණ 440ක් වාර්තා විය. වත්මන් තත්ත්වය ද නිසි ලෙස පාලනය නොකළහොත් එවැනි දරුණු තත්ත්වයකට පාර යොමු වීමේ පැහැදිලි අවදානමක් ද පවතී.

දිස්ත්‍රික් මට්ටමින් ගත් කල, බස්නාහිර පළාත මෙවර ද වසංගතයේ ප්‍රධාන ගොදුර බවට පත්ව ඇත. සමස්ත රෝගීන්ගෙන් 50%ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, ඉන් කොළඹ දිස්ත්‍රික්කයෙන් 22%ක් ද, ගම්පහින් 17%ක් ද, කළුතරින් 6%ක් සහ කොළඹ නගර සභා සීමාවෙන් 5.1%ක් ද ලෙස රෝගීන් හඳුනාගෙන තිබේ. මීට අමතරව ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, පුත්තලම, කුරුණෑගල, කෑගල්ල, මහනුවර, මාතලේ, මඩකලපුව සහ බදුල්ල යන දිස්ත්‍රික්ක ද ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්වන කලාප ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය හඳුනාගෙන ඇත. මේ අතරින් රත්නපුර, කොළඹ හා ගම්පහ යන දිස්ත්‍රික්කවල ව්‍යාප්තවීමේ වේගය ඉතා ඉහළ බැවින් සෞඛ්‍ය අංශ විසින් ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබේ.

මෙවර වසංගත තත්ත්වයේ ඇති වඩාත්ම කනගාටුදායක සහ අවදානම් සහගත සාධකය වන්නේ පාසල් දරුවන් ඩෙංගු වෛරසයට ගොදුරු වීමේ ප්‍රවණතාව ඉහළ යාමයි. සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි ද මේ පිළිබඳව දැඩි කනස්සල්ල පළ කර ඇත. ඩෙංගු රෝගය ප්‍රධාන වශයෙන්ම ව්‍යාප්ත වන්නේ ‘ඒඩීස් ඊජිප්ටයි’ (Aedes aegypti) සහ ‘ඒඩීස් ඇල්බොපික්ටස්’ (Aedes albopictus) යන මදුරු විශේෂ හරහා ය. මෙම මදුරුවන් ප්‍රධාන වශයෙන් දිවා කාලයේදී සක්‍රීය වන බැවින් පාසල් පරිශ්‍ර පිරිසිදුව තබා ගැනීම අත්‍යවශ්‍ය වේ. නිවාස, පාසල්, වැඩබිම් මෙන්ම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන පරිශ්‍රයන් ද පිරිසිදුව තබා ගැනීමට මහජනතාව උපරිමයෙන් දායක විය යුතු බව වෛද්‍ය විශේෂඥයෝ අවධාරණය කරති. දිගින් දිගටම පවතින වැසි සහිත කාලගුණය මදුරුවන් බෝවීමට හිතකර පාරිසරික සාධක නිර්මාණය කර ඇති අතර, රට පුරා සිදුකළ කීට විද්‍යා සමීක්ෂණවලදී ද මදුරුවන් බෝවීමේ අධික ප්‍රවණතාවක් හඳුනාගෙන ඇත.

මෙම ව්‍යසනකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා රජය විසින් පසුගිය 15 වන දා සිට රට පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති අතර, මේ වනවිට එය ක්‍රියාත්මක වෙමින් පවතී. කෙසේ වෙතත්, වසංගතය මෙතරම් දරුණු වීමට ඇතැම් පරිපාලනමය දුර්වලතා ද හේතු වී ඇති බව විචාරකයෝ පෙන්වා දෙති. පසුගිය කාල සීමාව පුරා පළාත් පාලන ආයතන බොහොමයක කසල බැහැර කිරීමේ ක්‍රියාවලිය නිසි පරිදි සිදු නොවීම සහ රජය විසින් ආරම්භ කරන ලද ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) වැඩපිළිවෙළ මඟින් අපේක්ෂිත ප්‍රගතියක් අත්කර ගැනීමට අපොහොසත් වීම, මදුරුවන් බෝවීම ශීඝ්‍ර වීමට සෘජුවම බලපා ඇති බවට නැගෙන චෝදනා මුළුමනින්ම බැහැර කළ නොහැකි ය.

ඩෙංගු රෝගයෙන් ආරක්ෂා වීම සඳහා මහජනතාවගේ සෘජු දායකත්වය මේ මොහොතේ අතිශය තීරණාත්මක වේ. ඒ සඳහා මල් පෝච්චි යටි තැටි, ටයර්, පොල්කටු, බෝතල් සහ වැහි පිහිලි වැනි පිරිසිදු ජලය රැඳෙන ස්ථාන සතියකට දෙවරක්වත් පරීක්ෂා කර විනාශ කර දැමිය යුතුය. දිවා කාලයේදී මදුරු විකර්ෂක (Mosquito repellents) භාවිත කිරීම, ශරීරය වැසෙන සේ දිගු අත් සහිත ඇඳුම් ඇඳීම වැනි ක්‍රම මඟින් මදුරු දෂ්ටනයෙන් වැළකී සිටිය හැකිය. එසේම, ඩෙංගු වෛරසයේ ප්‍රධාන ප්‍රභේද 4 ක් (DENV-1, DENV-2, DENV-3, DENV-4) පවතින බැවින්, මීට පෙර ඩෙංගු වැළඳුණු අයෙකුට වුවද නැවත වෙනත් ප්‍රභේදයක් වැළඳීමේදී දරුණු ‘ඩෙංගු රක්තපාත උණ’ (DHF) තත්ත්වයක් ඇති විය හැක. එබැවින්, තද උණ, හිසරදය, ඇස් පිටුපස වේදනාව, මාංශ පේශි සහ සන්ධි වේදනාව, වමනය හෝ සමේ රතු ලප වැනි ලක්ෂණ ඇත්නම්, ස්වයං ප්‍රතිකාරවලින් වැළකී වහාම සුදුසුකම් ලත් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය. ඉදිරි වැසි කාලයත් සමඟ රෝග ව්‍යාප්තිය තවදුරටත් උග්‍ර විය හැකි බැවින්, වගකිවයුතු පුරවැසියන් ලෙස එක්ව ක්‍රියා කිරීම සැමගේම වගකීමකි.

ඒ.ජී. රේණුකා දමයන්ති

එතෙර - මෙතෙර