ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මැදිහත් වීම විශිෂ්ටයි

පවතින ආර්ථික අර්බුදය හමුවේ නව විධායක ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ පළමු වතාවට පාර්ලිමේන්තුව තුළ කෙරෙන ඡන්ද විමසීමට බාධාවක් වන කිසිදු ක්‍රියාවක් නොකරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.ඒ අතරේ ඔවුන් වැඩ බලන ජනාධිපති වරයාගෙන් ඉල්ලා සිටිනුයේ ඊයේ(18) සිට බල පැවැත්වෙන පරිදි පැන වූ හදිසි අවස්ථා තත්ත්වය ප්‍රකාශයට පත් කිරීම ජනතා පරිමාධිපත්‍යයේ අංගයක් වන භාෂණය හා ප්‍රකාශනයේ නිදහස සහ සාමකාමීව රැස්වීමේ නිදහස ඇතුළු මූලික අයිතිවාසිකම්වලට ගරු කරමින් වහා අවලංගු කරන ලෙස ය.

මහජන ආරක්ෂාව, රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම, මහජන ජීවිතයට අත්‍යාවශ්‍ය සැපයිම් හා සේවා පවත්වාගෙන යාම සඳහා එය නිකුත් කර ඇත්තේ මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන වගන්තිය යටතේ බව පැවසෙයි.වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි හදිසි අවස්ථා තත්ත්වය ප්‍රකාශයට පත් කරමින් එම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.එහෙත්,බලයේ සිටින දේශපාලනඥයන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සහ සම්මත නීති පද්ධතීන් හි වගන්ති තමන්ට අවශ්‍ය පරිදි අර්ථ නිරූපණය කොට තමන්ගේ බලය තහවුරු කර ගැනීමට යොදා ගැනීම අප රටේ දේශපාලන සංස්කෘතියේ සාමාන්‍ය දෙයක් බවට පත් ව තිබේ. අරගලය යන මුවාවෙන් ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල භාවය උල්ලංඝනය කෙරෙන ක්‍රියා ද අප රටේ දුලබ නොවන බව නීතිඥ සංගමය අන් කාටත් වඩා හොඳින් දනියි.. එමෙන්ම මෙම සකල විධ ක්‍රියා දාමයන් තුළ ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික ස්ථායී භාවයට බලපෑම් කිරීමට කැස කවන දෙස් විදෙස් බලපෑම් එල්ල වීමේ පහසු අවකාශයක් ද තිබේ.එවන් අර්බුදකාරී අවස්ථාවක ශ්‍රී ලංකා නීතිඥ සංගමය සාධාරණ මැදිහත් අකරුවකු සේ ක්‍රියා කරනු දැකීම මහත් සතුටකි.

එමෙන්ම හෙට පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී කිසියම් පුද්ගලයෙකුගේ හෝ දේශපාලන පක්ෂයක පෞද්ගලික දේශපාලන අවශ්‍යතා මත නොව රටේ යහපත මත පදනම්ව තීරණ ගැනීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාලීන අවශ්‍යතාවක් බව ද එම සංගමය දන්වා සිටියි.එමඟින් රට තුළ පවතින වත්මන් අර්බුදය හැකි ඉක්මනින් විසඳා ගැනීම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අපේක්ෂාව බව ද එම සංගමය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.ඒ සඳහා ඔවුන් සාධාරණ හා මධ්‍යස්ථ ප්‍රවේශයක් සහිතව කටයුතු කිරීම ඉතා වැදගත් ය.

මෙරට සමස්ත මැතිවරණ කොට්ඨාස නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සඳහා පොදු අවස්ථාවක් ලැබී ඇති බව ද ජනතා පරමාධිපත්‍යයට හා ඔවුන්ගේ අභිලාෂයන්ට ගරු කරමින් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ද ආරක්ෂා කරමින් මන්ත්‍රීවරුන් මෙම භාරදූර කර්තව්‍යය ඉටු කළ යුතුව ඇති බව ද පෙන්වා දෙන එම සංගමය හෙට එළඹෙන නව ජනාධිපති වරයා තෝරන පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ ඡන්ද විමසීමේ දී මන්ත්‍රී වරුන් ඡන්දය පාවිච්චි කිරීම පිළිබඳව ඉඟියක් වත් පළ නොකර සිටීම ඉතා වැදගත් ය.අප එසේ ප්‍රකාශ කරනුයේ පසුගිය කාලය තුළ ශ්‍රී ලංකා නීතිඥ සංගම් නිලධාරීන් ඇතැම් දේශපාලනඥයන් සඳහා ප්‍රසිද්ධියේම “කඩේ යාම” මත එහි ප්‍රමිතිය පසුගිය කාලයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පත්ව තිබූ ජරා ජීර්ණ තත්වය ආසන්නයටම පත් ව තිබීම ය. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ පැවැති එම අන්තගාමී ස්ථාවරයන් නිසා අද එහි බල තුලනයක් ඇති වී තිබේ.රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද එවැනි නව ප්‍රවේශයකට පිවිස ඇතත් ඔවුන්ට “චරිත සහතික ලියන්නට” තවමත් කල් වැඩි ය.

ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල භාවය අඩපණ කරන බව හැඟවෙන ඇතැම් විරෝධතා කණ්ඩායම්වල කොටස්කරුවන් ඇතුළු විවිධ පාර්ශවයන්ට ආරෝපණය කරන ලද ප්‍රකාශයන් පිළිබඳව ද සිය අවධානය යොමු කළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. ශ්‍රී ලාංකික පුරවැසියන් මෙම තීරණාත්මක අවස්ථාවේ දී නීතියේ ආධිපත්‍යයට සහ ව්‍යවස්ථාපිත පාලනයට ගරු කිරීම අත්‍යවශ්‍ය බව ද ඔව්හු අවධාරණය කරති. ශ්‍රී ලංකාව පාලනය වන රාමුව වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන නොසලකා හැරීම අපේ රටට හෝ එහි ජනතාවට හිතකර නොවන බව ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, එහි ආයතනවලට සහ නීතියේ ආධිපත්‍යයට ගරු කිරීම ජනතාවගේ ජීවිත වලට අත්‍යවශ්‍ය වන බවත් රජයේ අඛණ්ඩ කාර්යයන් පවත්වා ගෙන යාම තම සංගමය සහතික කරන බවත් එම සංගමය කියයි පසුගිය කාලයේ.

ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය විරෝධතා කණ්ඩායම්වල සාමාජිකයන් විසින් අත්පත්කරගෙන සිටීම විශාල ජනකායක් එම පරිශ්‍රයන්ට අඛණ්ඩව පැමිණීම මත, ඒවායේ සිදුවූ විනාශකාරී ක්‍රියා පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි අවධානය යොමු කර ඇත., එමෙන්ම ජනතා පරිමාධිපත්‍යයේ අංගයක් වන භාෂණය හා ප්‍රකාශනයේ නිදහස සහ සාමකාමීව රැස්වීමේ නිදහස ඇතුළු මූලික අයිතිවාසිකම් උදෙසා ගාලු මුවදොර අරගල කරුවන් වෙනුවෙන් ස්වේච්ඡාවෙන් පෙනී සිටි ශ්‍රී ලංකා නීතිඥ සංගමය පසුගිය 13 දා පාර්ලිමේන්තුව වැටලීමට යම් පිරිසක් දැරූ ප්‍රචණ්ඩකාරී උත්සාහයත් එහි දී ආරක්ෂක අංශ සාමාජිකයන් දෙදෙනකුට පහර දී ඔහුන්ගේ ගිනි අවි පැහැර ගැනීමත් සම්බන්ධවත් සුවිශේෂ අවධානයක් යොමු කරනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි.

පවතින ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වයට ප්‍රජාතන්ත්‍රවාදීව පවතින ව්‍යවස්ථාමය රාමුව සහ නෛතික ක්‍රියාවලිය හරහා විසඳුම් සෙවීමට සහ යුක්තිය පසිඳලීමට බාධාවක් නොවන අයුරින් සුදු කෙරෙන වෙනස්කම් වෙනුවෙන් පෙනී සිටීමට කැප වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයට අපගේ ප්‍රණාමය හිමි වෙයි.

දමයන්ති ගමගේ

එතෙර - මෙතෙර