සයිබර් ප්‍රහාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අහිමි වූ ණය වාරිකය පියවීමට ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව සමඟ සාකච්ඡා අරඹයි
ශ්‍රී ලංකාවට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක ස්වෛරී ණය වාරිකයක් සයිබර් හැකර්වරුන් පිරිසක් විසින් වංචනික ලෙස වෙනත් ගිණුමකට හරවා යවා ඇති අතර, එම හිඟ මුදල පියවීම සඳහා නව ගෙවීම් කාලසටහනකට අනුව කටයුතු කිරීමට මුදල් අමාත්‍යාංශය මේ වන විට ඕස්ට්‍රේලියානු බලධාරීන් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි ඉහළ පෙළේ රජයේ ආරංචි මාර්ග පවසයි.අලුතින් පිහිටුවන ලද රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය හරහා ඕස්ට්‍රේලියාවට ගෙවීමට නියමිතව තිබූ මෙම ණය වාරිකය, පද්ධතිමය ඩිජිටල් ආරක්ෂණ බිඳවැටීමක් උපයෝගී කරගනිමින් තෙවන පාර්ශවීය ගිණුමකට හරවා යවා ඇත. මෙම සයිබර් සොරකමේ සම්පූර්ණ ස්වභාවය අනාවරණය වී ඇත්තේ, ඉන්දියාවට ගෙවීමට තිබූ තවත් ණය වාරිකයක් ද වෙනතකට හැරවීමට උත්සාහ කිරීමේදී වෙනස් කරන ලද බැංකු ගිණුම් විස්තර පිළිබඳව සැක මතු වීමෙන් පසුව බව නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මීට පෙර ප්‍රකාශ කර තිබුණි.මෙම සිදුවීම ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ක්‍රියාත්මක වැඩසටහනට ඍජු බලපෑමක් එල්ල කර ඇති බව IMF නිල වශයෙන් දැනුම් දී ඇත. ඕස්ට්‍රේලියාවට ගෙවිය යුතු වාරිකය මඟහැරීම හේතුවෙන් “බාහිර ගෙවීම් හිඟයන් ඇතිවීම වැළැක්වීම” සම්බන්ධ අඛණ්ඩ කාර්යසාධන නිර්ණායකය උල්ලංඝනය වී තිබේ.එහි ප්‍රතිඵලයක් ලෙස IMF වැඩසටහනේ 5වන සහ 6වන සමාලෝචන යටතේ ලැබීමට නියමිත මූල්‍ය වාරිකයන් සුරක්ෂිත කරගැනීම සඳහා ශ්‍රී ලංකාව විසින් මෙම කොන්දේසි උල්ලංඝනය සම්බන්ධයෙන් ‘නිදහස් කිරීමක්’ හෙවත් waiver එකක් ඉල්ලා ඇත. බලධාරීන් පෙන්වා දී ඇත්තේ මෙම පැහැර හැරීම දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.002%ක් පමණක් වන සුළු ප්‍රමාණයක් බවත්, ඒ සඳහා නිවැරදි කිරීමේ පියවර දැනටමත් ගෙන ඇති බවත්ය.මේ අතර රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ගයක් සඳහන් කළේ ණය මුදල පියවීම සඳහා මුදල් අමාත්‍යාංශය නව විධිවිධාන සකස් කරමින් සිටින බවයි. “ඉදිරි මාස කිහිපය තුළ මෙම ගැටලුව විසඳෙනු ඇත. ශ්‍රී ලංකාවේ අනෙකුත් සැලසුම්ගත ණය ප්‍රතිපූරණයන් සාමාන්‍ය පරිදි සිදුවෙමින් පවතිනවා,” යැයි එම ආරංචි මාර්ගය තහවුරු කළේය.ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ (AFP) සහාය ඇතිව ශ්‍රී ලංකා බලධාරීන් මේ වන විට සයිබර් සොරකම සම්බන්ධයෙන් පුළුල් විමර්ශන පවත්වයි. සයිබර් ආරක්ෂණ විශේෂඥයින් පවසන්නේ රාජ්‍ය මූල්‍ය ගනුදෙනු සඳහා භාවිතා කරන පද්ධතිවලට බහු-ස්තර සත්‍යාපනය සහ තත්කාලීන ගනුදෙනු නිරීක්ෂණ අත්‍යවශ්‍ය බවයි.මුදල් අමාත්‍යාංශය අවධාරණය කරන්නේ මෙම සිදුවීම තනි තාක්ෂණික බිඳවැටීමක් මිස රටේ සමස්ත ණය ගෙවීමේ හැකියාවට බලපාන කරුණක් නොවන බවයි. විමර්ශන අවසන් වනතුරු වැඩිදුර තොරතුරු හෙළි කළ නොහැකි බව ද බලධාරීහු පවසති.