සීඅයිඩිය ලංකාදීපයට

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා ලංකාදීප පුවත්පතට කළ ප්‍රකාශ සම්බන්ධයෙන් එහි ප්‍රධාන කර්තෘවරයාගෙන් සහ එම ප්‍රවෘත්ති සහ ලිපි ලියූ ලේඛකයන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් කොළඹ හුණුපිටිය හරස් පාරේ පිහිටි ලංකාදීප ප්‍රධාන කාර්යාලයට අද (28) උදේ පැමිණ තිබේ.
නමුදු ඒ සම්බන්ධයෙන් මේ මොහොතේ පිළිතුරු දීමට සූදානමක් නොමැති බවට ලංකාදීප ප්‍රධාන කතුවරයා දැනුම් දීම නිසා එම විමර්ශන නිලධාරී කණ්ඩායම ලංකදීප ප්‍රධාන කාර්යාලයෙන් ඒ මොහොතේම පිටව ගියේය.එම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ලංකාදීප ප්‍රධාන කාර්යාලයෙන් එසේ පිටව ගියේ ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා වෙනත් දිනයක නැවතත් පැමිණෙන බවට දැනුම් දෙමිනි.
ලංකාදීප පුවත්පත එම ලිපි සහ ප්‍රවෘත්ති වලින් අනාවරණය කර තිබුණේ පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලා අස්වූ තුෂාන් ගුණවර්ධන මහතා විසින් පළ කරන ලද අදහස්ය. සතොස සුදුළූනු වංචාව ඇතුළු අනෙකුත් දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් ඒ මහතාගෙන් ප්‍රශ්න කර තොරතුරු ලබාගෙන විමර්ශන පවත්වනවා වෙනුවට පුවත්පතේ කර්තෘවරයාගෙන් සහ එම ලිපි සහ ප්‍රවෘත්ති ලියූ ලේඛකයන්ගෙන් ප්‍රශ්න කිරීමට සූදානම්වීම මාධ්‍ය නිදහසට එල්ල කරන බරපතළ ආකාරයේ තර්ජනයක් බව මාධ්‍ය සංවිධාන පෙන්වා දෙයි.මේ අතර ලංකාදීප, දිවයින කර්තෘවරුන්ට, එහි මාධ්‍යවේදීන් කිහිපදෙනෙක්ට මෙන්ම තවත් මාධ්‍ය කිහිපයක මාධ්‍යවේදීන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනීසිටින ලෙස නියෝග කරමින් ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධානතම කුළුණ වන මාධ්‍ය අරඹයා එල්ල වූ පිළිකුල් සහගත තර්ජනය ඒ තර්ජනයටම අනන්‍ය වූ පිළිකුලෙන් යුතුව හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මෙවැනි තර්ජනාත්මක කැඳවීම් සිදු කිරීමේ අයිතියක් රහස් පොලිසියට නොමැති බවත් එවැනි කැඳවීමක් සිදුකිරීම මාධ්‍යවේදීන්ට කළ අපහාසයක් මෙන්ම ඔවුන්ගේ මාධ්‍ය භූමිකාවට සිදුකරන ලද බරපතළ අනිසි තර්ජනයක් සේ සලකන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරයි

කාලීන පුවත්