සුනඛ පෙම් කතාවක් මුල් කොට සමාජයට මහඟු පණිවිඩයක් ලබා දෙන අපූරු සිනමා සිත්තමක්

සුනඛයන් රංගනයේ යෙදෙන චිත්‍රපට නැරඹීමේ සැලකිය යුතු ඉතිහාසයක් අප රටේ සිනමාලෝලීන්ට තිබේ. ශ්‍රී ලංකාවට රූපවාහිනිය ලැබුණු සමයේ විකාශනය වූ ‘ලැසී’ එවැනි අමතක නොවන කතා මාලාවකි. ජපානයේ ජීවත් වූ හචිකෝ නමැති සුනඛයාගේ කතාව පසුබිම් කරගනිමින් ද සිනමා නිර්මාණය කිහිපයක්ම බිහි වී තිබේ. 2015 වසරේ ඉන්දියාවේ නිර්මාණය වූ ‘චාලි’ මෑත කාලයේ ලොව පුරා සුනඛ ලෝලීන් මහත් කම්පනයකට පත් කළ තවත් සුවිශේෂී නිර්මාණයක් විය. මේ ආකාරයට අපට සුනඛයන් පිළිබඳ චිත්‍රපට ලැයිස්තුවක් ම සඳහන් කරගෙන යා හැකිය. මේ සම්බන්ධව කතා කළ හැකි නවතම, එනම් 2023 වසරේ තිරගත වූ චිත්‍රපටය පිළිබඳ අපට දැනගන්නට ලැබෙන්නනේ අප අසල්වැසි ඉන්දියාවෙනි. මලයාලම් බසින් නිර්මාණය කර ඇති එය නම් කොට ඇත්තේ ‘වලාට්ටි’ (Valatty: Tale of Tails) නමිනි. සරල කතාවක් සේ මතුපිටින් පෙනුන ද, ඉන්දියාවේ පවතින නීති විරෝධී ඖෂධ ව්‍යාපාරය සහ ඒවා අත්හදා බැලීම සඳහා සුනඛයන් යොදා ගැනීම මේ සිනමා නිර්මාණය තුළින් ඉස්මතු කරන්නට උත්සාහ දරන බව පැහැදිලි ය. මෑතක් වන තුරුම නීත්‍යනුකූල ව සිදු වූ අතර මහමග සිටින සුනඛයන් මේ සඳහා යොදා ගැනීම සඳහා නීතියේ බාධාවක් තිබුණේ නැත. ඇති වූ විරෝධතා මත මේ වන විට එය නවතා දමා ඇති නමුත් නීති විරෝධී ලෙස තවමත් එය සිදුවෙයි. එමෙන්ම නිවෙස්වලින් අත්හැර දමන ලද සුනඛයන් පිළිබඳව ද මේ චිත්‍රපටය තුළින් කතා කරයි. අප රටේ ද මේ පුරුද්ද ඉතා ඉහළින් සිදුවන්නකි. සුනඛයන් නීරෝගීව සිටිද්දී ආදරයෙන් රැකබලා ගන්නා ඇතැමුන්, ඔවුන්ට යම් රෝගී තත්ත්වයක් ඇති වූ විට, විශේෂයෙන් ‘කටුවා කෑම‘ වැනි තත්ත්වයන් ඇති වූ විට මහමග දමා ගොස් ඇති ආකාරය දැකගත හැකිය. සිනමා රසිකයන්ට වින්දනයක් ද ලබාදෙමින් ඉන්දීය සමාජය තුළ සුනඛයන් සම්බන්ධ සමාජ ගැටලු කතා බහ කරන්නට උත්සාහ ගත් සිනමා නිර්මාණයක් ලෙස ද ‘වලාට්ටි’ පිළිබඳ සඳහන් කළ හැකිය.

මුලින්ම මලයාලම් බසින් නිර්මාණය කරනු ලැබුව ද පසුව හින්දි, තෙලුගු, දෙමළ සහ කන්නදා යන භාෂාවන්ගෙන් හඬ කවා තිබේ. පසුගිය ජූලි මාසයේ තිරගත වීම ආරම්භ කරන ලද මෙය මෙය වීර-හාස්‍ය-ආදර යන ෂානරයටන්ට අයත්ය. දේවාන් ජයකුමාර් විසින් අධ්‍යක්ෂණය කොට ඉන්දීය ව්‍යාපාරිකයකු සහ සිනමා නිෂ්පාදකයකු වන විජේ බාබු විසින් ඉදිරිපත් කරනු ලබන්නකි. මේ චිත්‍රපට නිෂ්පාදකයන් සඳහන් කරන පරිදි VFX තාක්ෂණය නොමැතිව රංගන ශිල්පීන් ලෙස සැබෑ සුනඛයන් යොදවා නිර්මාණය කරන ලද පළමු ඉන්දීය චිත්‍රපටය ද වලාට්ටි වේ. සජීවි ලෙස රූපගත කිරීමට දුෂ්කර සිනමාත්මක දර්ශන සජීවී ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට යොදා ගන්නා තාක්ෂණය වන්නේ VFX ය. සජීවීකරණ තාක්ෂණය ඉතා අඩුවෙන්ම භාවිත කරමින් සැබෑ සුනඛයන් පමණක් ම යොදා ගනිමින් වසර තුනක් වැනි දීර්ඝ කාලයක් රූගත කිරීම් සඳහා කාලය වැය කරන්නට සිදු වූ චිත්‍රපටයක් ලෙසින් ද මෙය සඳහන් කළ හැකිය. මලයාලම් බසින් මුලින්ම නිර්මාණය කරන ලද චිත්‍රපටය සඳහා මලයාලම් සිනමාවේ සුප්‍රකට රංගන ශිල්පීන් ගණනාවකගේම හඬ දායකත්වය ලබා දී තිබීම ද සුවිශේෂී කරුණකි.

චිත්‍රපටයේ කතාව ගලා යන්නේ මේ ආකාරයටය.

මෙහි ප්‍රධාන චරිත දෙක වන්නේ ටොමී සහ අමාලු ය. ටොමී, ගෝල්ඩන් රිට්‍රීවර් වර්ගයට අයත් පිරිමි සතකු වන අතර අමාලු, කොකර් ස්පැනියල් වර්ගයට අයත් ගැහැනු සතෙකි. අමාලුගේ අයිතිකරු වන්නේ බ්‍රාහ්මණ වංශිකයකු වන ස්වාමිය. ස්වාමි බ්‍රාහ්මණ වංශිකයකු නිසා මස් මාලු ආහාරයට ගන්නේ නැත. නමුත් ටොමීගේ අයිතිකරු වන රෝයි මස් මාලු ආහාරයට ගන්නා තැනැත්තෙකි. ටොමී නිතර නිතර අමාලුගේ නිවසට යන එන බැවින් ඔවුන් දෙදෙනා අතර යම් සබඳතාවක් ගොඩ නැගෙයි. මෙය කරදරයක් ලෙස සලකන ස්වාමි, රෝයි හමු වී මෙය සැල කර සිටියි. ඒ අතරේ අමාලු ගැබ්ගෙන ඇති බව ස්වාමිගේ ඥාති පුත්‍රයකු වන ආනන්දගෙන් දැනගන්නට ලැබෙයි. මෙයට වගකිව යුත්තේ ටොමී බව ස්වාමි සහ ඔහුගේ මව තේරුම් ගන්නා අතර, අවසානයේ සිදුවන්නේ ටොමීට සහ අමාලුට නැවත හමුවිය නොහැකි ආකාරයට නිවෙස්වල සිරකර තැබීමය. ටොමීගේ මිතුරකු වන පූවන් නම් කුකුළා උපදෙස් දෙන්නේ ඔවුන් දෙදෙනාට මේ නිවෙස් අතහැර පළා යන ලෙසය.

එක් රාත්‍රියක දී ටොමී සහ අමාලු පලා යන අතර නිවසින් අතහැර දමන ලද ලැබ්‍රදෝර් වර්ගයට අයත් මහලු සුනඛයෙක් මහ මග දී මුණ ගැසෙයි. මේ සුනඛයා ටොමීට සහ අමාලුට කෑම සොයා ගැනීමටත් නැවතී සිටින්නටත් අවශ්‍ය පහසුකම් සම්පාදනය කරයි.

මේ අතරේ මේ ප්‍රදේශයේ ජීවත් වන සුමති නම් වීදි වෙළෙන්දියකට පහර දෙන්නට උත්සාහ ගන්නා බෲනෝ නම් රොට්වෙයිලර් සුනඛයාගෙන් ඇයව ගලවා ගන්නේ ටොමීය. ලැබ්‍රදෝර් වැඩිහිටියා ලබා දෙන උපදෙස්වලට අනුව ටොමී සහ අමාලු සුමති පසුපස ඇගේ නිවස කරා ගමන් කරයි. සුමතිගේ නිවසේ ද ‘හරිදාස්’, එසේත් නැතනම් ‘කරිදාස්’ නමින් සුනඛයකු ජීවත් වන අතර ඌ ‘ඉන්ඩි’ හෙවත් ඉන්දියානු දේශීය සුනඛ වර්ගයට අයත්ය. කරිදාස්, ටොමී සහ අමාලු සමග මිතුරු වෙයි.

දිනක් අමාලු, මේ ප්‍රදේශයේ නීතිවීරෝධී ඖෂධ නිපදවන්නකු වන නරේන්ද්‍රදාස් කරන්වාර්ගේ සේවකයකු වන භාසිට හසු වෙයි. ඔවුන් කරන්නේ මහමග දී අල්ලා ගන්නා සුනඛයන් යොදා තමා විසින් නිපදවන ලද ඖෂධ අත්හදා බැලීමය. ටොමී සහ කරිදාස්, භාසිගේ වෑන් රථය පසුපස ලුහුබඳින නමුත් මාර්ග කිහිපයක් දිශා කිහිපයකට බෙදී යන තැනක දී ඔවුන් අවුල් සහගත තත්ත්වයකට පත් වී වෑන් රථය මග හැරෙයි. ඔවුන්ට පසුව මාග්‍රට් නම් ඇෆ්ගන් වර්ගයට අයත් සුනඛයකු හමු වන අතර ඇය පවසන්නේ සිය ඉව දැනීමේ හැකියාව මගින් අමාලුව සොයා ගන්නා ලෙසය.

අමාලුව සොයා යන අතර ඔවුන්ට ටිප්පු නම් ස්ටැෆර්ඩ් වර්ගයට අයත් සුනඛයකු මුණගැසෙන අතර ඌ, මොවුන්ව රවටා බෲනෝ කරා රැගෙන යයි. මේ අවස්ථාවේ දී බෲනෝ විසින් ටොමී සහ කරිදාස් පලවා හරිමින් ඔවුන් පසුපස ලුහුබැඳ යන අතරේ වලකට ඇද වැටෙයි. එහිදී වලෙන් ගොඩ ඒම සඳහා බෲනෝට ටොමී උදව් කරන අතර එහි දී ඇති වූ මිතුරුකම නිසා ඌ, ටොමී සහ කරිදාස් සමග සිය නවාතැන බෙදාහදා ගැනීමට කැමත්ත පළ කරයි. එහිදී, ධනවත් මහලු යුවලක් සමග තමන් ඇති දැඩි වූ අයුරුත්, පසුව භාසි විසින් තමා අල්ලා නීතිවිරෝධී සුනඛ සටන් සඳහා යොද වූ බවත් පවසයි. පසුව බෘනෝ ද ටොමී සහ කරිදාස් සමග එක් වී අමාලු සොයන්නට පටන් නියි. මේ අතරේ තවත් සුනඛයකු අල්ලා ගන්නා භාසිව, ටොමී සහ බෲනෝ දකින අතර ඔවුන් වෑන් රථය ලුහුබැඳ යන්නට පටන් ගනියි.

අතරමග දී ට්‍රක් රථයකට හසු වන්නට යන ටොමී ගළවා ගැනීම සඳහා උත්සාහ කරද්දී කරිදාස් ට්‍රක් රථයේ වැදී අනතුරට පත් වෙයි. මෙහිදී තමා ගැන බලමින් නොසිට අමාලුව සොයා ගන්නැයි කරිදාස් ටොමීට පවසයි. භාසිගේ වෑන් රථය ලුහුබැඳ යන බෲනෝ සහ ටොමී ඖෂධ අත්හදා බලන ස්ථානය කරා ළඟා වන අතර ඔවුහු අමාලුව සොයන්නට පටන් ගනිති. නරේන්ද්‍රදාස් කරන්වාර්ගේ පුත්‍රයා වන රොෂාන්ගේ එන්නතකට ලක් වෙන්නට ආසන්න ව තිබිය දී, ටොමී විසින් අමාලුව ගලවා ගනු ලබයි. මේ අවස්ථාවේ දී භාසි විසින් ටොමීව සහ අමාලුව සිර කරන්නට උත්සාහ ගත්ත ද, භාසිට පහර දෙන බෲනෝ ඔවුන් ව ගලවා ගනියි. බලෙන් අල්ලාගත් සුනඛයන් කිහිප දෙනෙකුව ටොමී විසින් ගලවා ගනු ලබන අතර ඔවුන්ගෙන් එකෙකු නරෙන්ද්‍රදාස් කරන්වාර්ට පහර දෙයි.

පසුවදා ඔවුන් පළා යන අතරේ අමාලු පැටව් බිහි කරයි. මහමග සිටින ටොමී, අමාලු සහ පැටව් ආන්නද් හදිසියේම දකියි. ඔහු ඔවුන් ව අදාළ හිමිකරුවන් වෙත රැගෙන ගොස් භාර දෙයි. කරිදාස් නිවසට නොපැමිණීම පිළිබඳ සුමති කනස්සල්ලෙන් පසුවෙයි. ඒ අතරේ ඇයට බෲනෝ හමුවන අතර සිය නිවසට රැගෙන යයි. මේ අතරේ ඉන්දීය හමුදා සුනඛ අංශය විසින් කරිදාස්ව ගළවා ගන්නා අතර ඌ මනා සේ පුහුණුව ලැබූ සුනඛ භටයෙක් බවට පත් වෙයි. පොලිසිය ඖෂධ අත්හදා බලන ස්ථානය වට කරන අතර නරේන්ද්‍රවාස් කරන්වාර් සහ ඔහුගේ පුත්‍රයා වන රොෂාන්ව අත්අඩංගුවට ගනී. මේ අවස්ථාවේ දී සුනඛයන් ගලවා ගන්නා කණ්ඩායමක් පවසන්නේ මේ ඖෂධ අත්හදා බැලීම නිසා ආබාධිත තත්ත්වයට පත් වූ සුනඛයන් රැක බලා ගැනීමට තමන් ඉදිරිපත් වන බවයි.

ළමා, වැඩිහිටි සියලු දෙනාට එක සේ රසවිඳිය හැකි ආකාරයකින් නිර්මාණය කර ඇති මේ චිත්‍රපටය මෙසේ අවසන් වූව ද එය තුළින් මතු කරන ගැඹුරු සමාජමය කාරණා නිසා මෙය සිනමා සහ සත්වලෝලීන් අතර මහත් ජනාදරයකට ලක් වූ නිර්මාණයක් බවට පත්ව තිබේ.

නිරංජන් චාමින්ද කරුණාතිලක

රසගඟුල