සොඳුරු පහසු සේම බිහිසුණු මාරක ප්ලාස්ටික්

සාමාන්‍ය ජීවිතයේ අපට හිතකර ඒවා ජීවිතයට සමීප කර අහිතකර ඒවා ජීවිතයෙන් ඈත් කරන පුරුද්දක් පැවතියත් එසේ කරන්නට නොහැකි වූ සහ කරන්නට උත්සාහයක් වත් නොගන්නා දේවල් අතර ප්‍රධාන තැනක පසුවන්නේ ප්ලාස්ටික් සහ පොලිතින්ය. ඒවා මිනිස් සංහතියට සහ සමස්ත ලෝකයටම අහිතකර බව දැන දැනත් අපි ඒවා සමගම ජීවත් වන්නට තීරණය කොට තිබෙන බැව් පෙනේ. ප්ලාස්ටික් අප හඳුනා ගත් සමයේ එය ජීවිතවලට සමීප කර ගත්තේ කොටි පැටවකු හා සමානවය. කොටි පැටවා හොඳින් වැඩී අපව දඩයම් කරතැයි අප කිසිදා සිතුවේ නැත. නමුත් ප්ලාස්ටික් නමැති කොටි පැටවා දැන් ලෝකය පුරා පැතිර යමින් සියල්ල කරා විනාශය ළං කරමින් සිටින බැව් හොඳින්ම පෙනේ. ප්ලාස්ටික් සහ පොලිතින් පිළිබඳ මෙවැනි කතාබහක් අරඹන්නට නිමිත්තක් වූයේ පසුගිය දිනෙක පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී අනාවරණය වූ කරුණු දකින විටය. එහිදී පැවසුණේ දිනකට ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 938ක් මිනිසුන් අතරට ගිය ද නැවත එක්රැස් වන්නේ එයින් 32% ක් පමණක් බවය. එසේ එකතු වන ප්‍රමාණයෙන් යාන්ත්‍රික ප්‍රතිචක්‍රීකරණයට ලක් කෙරෙන්නේ 4% ක් පමණක් බව ද මෙහිදී හෙළිවිය. ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය සඳහා අධික වියදමක් දරන්නට සිදුව ඇති බැවින් බොහෝ දෙනෙක් ඒ සඳහා ඉදිරිපත් නොවන තත්ත්වයක් පෙනෙන්නට තිබෙන බව ද මෙහිදී අනාවරණය විය.

ලෝකයේ පරිසර දූෂණය සිදු කිරීම සඳහා වැඩිම දායකත්වයක් සපයන්නේ පොලිතින් සහ ප්ලාස්ටික්ය. කුණුකසල එකතු කිරීම ඉතා දුර්වල මට්ටමක පවතින හෝ කිසිසේත්ම කුණු කසල එකතු කිරීමක් සිදු නොවන අප්‍රිකානු සහ ආසියානු රටවල මෙය බහුලව දක්නට ලැබේ. ප්‍රතිචක්‍රීකරණය අඩුවෙන් සිදුවන සංවර්ධිත රටවල ද පොලිතින් සහ ප්ලාස්ටික්වලින් සිදුවන පරිසර දූෂණය සැලකිය යුතු මට්ටමක පවතී.

ප්ලාස්ටික් ලෝකයට බිහිවී සියවසක් ඉක්ම ගොස් නැත. මේවා නිපදවන්නට පටන් ගැනුණේ පොසිල ඉන්ධනවල අතුරුඵලයක් වශයෙනි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ප්ලාස්ටික් නිෂ්පාදනය ඉතා වේගවත් විය. මේ වන විට ප්ලාස්ටික් සහ පොලිතින්වල තොර ජන ජීවිතයක් පිළිබඳ සිතා ගත නොහැකි තරමට ඒවා ලෝකය ආක්‍රමණය කොට තිබේ. ජීවිතය ගළවා ගැනීමේ උපකරණ ඔස්සේ ක්ෂේත්‍රයට ද, අභ්‍යවකාශ යානා නිෂ්පාදනයට ද, ඉන්ධන සහ දූෂණය අඩුකරගැනීමේ උපක්‍රමයක් ලෙස වාහනවල බර අඩුකරගැනීමට, හෙල්මට්, ඉන්කියුබේටර සහ ජල පිරිසිදු කරන උපකරණ නිෂ්පාදන ආදියට දායක වෙමින් ජීවිත ගළවා ගැනීම සඳහා ප්ලාස්ටික් නිෂ්පාදනවල දායකත්වය අතිමහත්ය. නමුත් දැන් එයම ලෝකයේ ‍විනාශයට පාර කපා තිබේ.

ප්ලාස්ටික්වලින් වැඩි ප්‍රමාණයක් පවතින්නේ ලෝකයේ අවසන් කුණු කසල ගොඩ වන මහ සාගරයේය. මේවායෙන් වැඩි කොටසක් වෙරළාශ්‍රිතව එක්රොක් වී තිබුණ ද, දියවැල්වලට හසු වී ලෝකයේ වෙනත් ස්ථාන කරා මේවා ඇදී යාම ද සිදු වේ. ඇතැම් පර්යේෂණ මගින් පුරෝකථනය කරන පරිදි වසර 2050 වන විට සාගරයේ මත්ස්‍යයන්ට වඩා ප්ලාස්ටික් දකින්නට ලැබෙන බව පැවසේ.

ප්ලාස්ටික් නිසා වසරකට මිලියන ගණනක් ජීවීහු මිය යති. වඳ වී යාමේ තර්ජනයට මුහුණ දී ඇති සතුන් ඇතුළුව සත්ත්ව විශේෂ 700 කට ආසන්න ප්‍රමාණයක් ප්ලාස්ටික්වල බලපෑමට ලක්ව තිබේ. සාගර පක්ෂීහු සියලු දෙනාම පාහේ ප්ලාස්ටික් ආහාරයට ගනිති. ගොඩබිම වෙසෙන සතුන් ද ප්ලාස්ටික් ආහාරයට ගැනීම නිසා මිය ගොස් ඇති ආකාරය අපි නිතර දැක ඇත්තෙමු. එමෙන්ම බොහෝ සත්ත්ව විශේෂවල වර්ගයා බෝ වීම අඩුවීමට ද ඒ සතුන්ගේ ප්ලාස්ටික් ආහාරයට ගැනීම හේතු වී තිබේ.

2019 වන විට සෑම වසරක් පාසාම ප්ලාස්ටික් ටොන් මිලියන 368 ක් නිෂ්පාදනය වී තිබේ. චීනය ලොව විශාලතම ප්ලාස්ටික් නිෂ්පාදකයා වන බැවින් මේ නිෂ්පාදනයෙන් 51%කට දායක වී ඇත්තේ ආසියාවය. 1950 දශකයේ සිට 2018 දක්වා ලෝකයේ සිදු වූ සමස්ත ප්ලාස්ටික් නිෂ්පාදනය ටොන් බිලියන 6.3 ක් ලෙස ගණන් බලා තිබේ.

ප්ලාස්ටික්වල පවතින දරුණුතම ගුණාංගය වන්නේ ඒවා දිරාපත් නොවීමය. කාලයත් සමග ඒවා කුඩා කැබලිවලට බිඳී යමින් ක්ෂුද්‍ර ප්ලාස්ටික් බවට පත්වෙමින් තවදුරටත් පරිසරයේ ම රැඳී තිබේ. මිලිමීටර් 5ට වඩා අඩු ප්‍රමාණයකින් පවතින ඒවා ක්ෂුද්‍ර ප්ලාස්ටික් නමින් හඳුන්වනු ලබයි. මේවා අතරින් වැඩි ප්‍රමාණයක් පරිසරයට එකතු වන්නේ ශරීරය සේදීමට ගනු ලබන බොඩි වොෂ්, ෂැම්පු සහ දන්තාලේප වැනි ද්‍රව්‍යවලින් බැව් පැවසේ.

සතුන් පමණක් නොව මිනිසුන් ද ප්ලාස්ටිකවල ඍජු හෝ වත්‍ර හේතු නිසා ජීවිතයෙන් සමුගනිති. අප රටේ තදින් වැසි වසිද්දී ජලය බැස යාමට ඇති කාණු පද්ධති අවහිරවන ආකාරය ඔබට ද සුලබ අත්දැකීමක් වන්නට පුළුවන. මෙසේ කාණු අවහිර වන්නට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ පොලිතින් සහ ප්ලාස්ටික් කාණුවල තැන්පත් වීම නිසාය. මේ හේතුව නිසා ජලය පිරුණු වලකට වැටී අප රටේ එක් කාන්තාවක මිය ගිය සිදුවීම බොහෝ දෙනෙකුගේ මතකයේ තිබෙනවාට සැක නැත.

සාමාන්‍යයෙන් ආහාර දැමීම සඳහා විශේෂිත ප්ලාස්ටික් වර්ග නිපදවා තිබේ. මේවා හඳුනා ගැනීම සඳහා 2, 4 සහ 5 යන අංක ලබා දී තිබේ. කෙසේ නමුත් වෙළෙඳ පලේ ආහාර දමා තබා ගැනීමට නුසුදුසු සාමාන්‍ය ප්ලාස්ටික්වලින් නිපදවූ බඳුන් වෙළෙද පළෙහි දක්නට ලබෙන අතර දිගින් දිගටම ආහාර දමා පරිභෝජනය කිරීම නිසා පිළිකා, ඇදුම, තරබාරු බව ඇතුළු රෝගාබාදිය ඇතිවිය හැකි බව සොයාගෙන තිබේ. ඇතැම් ප්ලාස්ටික්වල ඇති යම් යම් ද්‍රව්‍ය රත් වීමේ දී ආහාර සමග එකතු වේ. ජලය පිරවූ බෝතල් නැවත නැවත භාවිතය නුසුදුසු බව පැවසෙන්නේ මේ නිසාය.

ලෝකයට සහ මිනිස් සංහතියට ප්ලාස්ටික්වලින් සිදුව ඇති අනිසි බලපෑම මෙසේ කෙටියෙන් පැවසිය නොහැකි නමුත් ඔබගේ දෑස් විවර කිරීමට මේ කරුණු ස්වල්පය වුව ප්‍රමාණවත් වනු ඇත. ප්ලාස්ටික් මිනිස් ජන ජීවිතය පහසු කරවන බව සත්‍යයක් වුව, මේ වෙනුවට වෙනත් විකල්ප සොයා ගැනීම පමා වෙත්ම ලෝකයේ විනාශය ඉක්මන් වේ. එසේම ප්ලාස්ටික් භාවිතයේ දී නිසි පරිදි බැහැර කිරීම, ප්‍රතිචක්‍රීකරණයට හැකි අන්දමින් ඒවා අදාළ ස්ථානවලට යොමු කිරීම ආදිය සඳහා මහජන සහාය අත්‍යවශ්‍ය ය. මේ බව කුඩා කල සිටම පාසල්වල උගන්වමින් ප්ලාස්ටික් සහ පොලිතින් නිසි පරිදි බැහැර කිරීමේ ආකල්ප වර්ධනය කළ යුතුය. නොඑසේ නම් වාහනයෙන් පිටතට ප්ලාස්ටික් සහ පොලිතින් ද්‍රව්‍ය විසි කිරීමේ පුරුද්ද නතර කළ නොහැකි වනු ඇත. මිනිස් විසින්ම නිර්මාණය කළ ප්ලාස්ටික් මිනිසා කරා පාරාවළලක් සේ පැමිණ හමාරය. මිනිස් ප්ලාස්ටික් ඉතා කල්පනාවෙන් පරිහරණය කළ යුතු සමය එලැඹ ඇති බව පැවසිය යුත්තේ එබැවිනි.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර