ෂාරුක්ගේ දුව සහ අමිතාභ්ගේ මුණුපුරා අතර ආදර සම්බන්ධයක් ගැන ආරංචියක්

බොලිවුඩ් සිනමාව යනු ඉතා අපූරු ආදර කතාවලින් අනූන තැනක් බව රහසක් නොවේ. සිනමා තිරය මත මෙන්ම එයින් පිටත ද මෙවැනි ආදර කතා නිරන්තරයෙන් දිග හැරෙනු දැකිය හැකි වේ. මේ දිනවල ද එවැනි අපූරු ආදර කතාවක් ගැන කසුකුසුවක් එරට මාධ්‍ය තුළ සංසරණය වෙයි. එම ආදර කතාවේ කතානායකයා සහ කතා නායිකාව බොලිවුඩයේ සුපිරිම සිනමා පවුල් දෙකක සාමාජිකයන් ය.

මේ කියන ආරංචිවලින් පැවසෙන්නේ ෂාරුක් ඛාන්-ගෞරි ඛාන් යුවළ ගේ එකම දියණිය වන සුහානා ඛාන් සහ අමිතාභ් බච්චන්- ජයා බච්චන් යුවළගේ මුණුපුරෙකු වන අගස්ත්‍ය නන්ද මේ වනවිට පෙම්වතුන් බවට පත්ව සිටින බව යි. මේ දෙදෙනාම මේ වනවිට 23 වැනි වියෙහි පසුවෙති. එමෙන්ම දැන් ඔවුහු සිනමා රංගනයට ද එක්ව සිටිති. සුහානා සහ අගස්ත්‍ය අතර ආදර සම්බන්ධයක් පවතින බවට කතන්දර දැන් ටික කලෙක සිට පැතිරෙමින් තිබෙන අතර නිතර ඔවුන් දෙදෙනා එකට සිටින ආකාරය දැක්වෙන ඡායාරූප සහ විඩියෝ ද මාධ්‍ය ඔස්සේ කරළියට එයි.

පසුගිය නොවැම්බර් 23 වැනි දින අගස්ත්‍ය ඔහුගේ 23 වැනි උපන් දිනය සැමරූ අවස්ථාව ද ඊට නිදසුනකි. එදින ඔහු උපන් දින කේක් ගෙඩිය කපන අවස්ථාවේ සුහානා ඒ අසළ සිටින අන්දම දැක්වෙන විඩියෝ සමාජ මාධ්‍ය තුළ දැකිය හැකි විය. එමෙන්ම සති කිහිපයකට පෙර දීපවාලි උත්සවය වෙනුවෙන් පැවැති සාදයකට ද මේ දෙදෙනා සහභාගි වී සිටිනු දක්නට ලැබිණි. එම සාදය අවසන්ව සුහානා නික්ම යාමට සැරසෙද්දී අගස්ත්‍ය ඇය මෝටර් රථය වෙත ඇරලවන්නට පැමිණෙන ආකාරය දැක්වෙන විඩියෝවක් මාධ්‍ය තූළ මහත් ආකර්ශණයක් දිනාගෙන තිබිණි.

තමුන් අතර ප්‍රේම සම්බන්ධයක් ඇති බවක් තවම ඔවුන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නැත. නමුත් මේ දෙදෙනාගේ සම්බන්ධය ගැන දෙපැත්තේ වැඩිහිටියන් දන්නා බවක් ද ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. අගස්ත්‍ය ගේ මව වන්නේ අමිතාභ් බච්චන්- ජයා බච්චන් දෙදෙනාගේ දියණිය වන ශ්වේතා බච්චන් නන්ද යි. ඇය විවාහ වී සිටින්නේ ඉතා සාර්ථක ව්‍යාපාරිකයකු වන නිකිල් නන්ද සමග ය. ශ්වේතා සුහානා ට විශාල කැමැත්තක් දක්වන බවක් ද සඳහන් වේ.

සුහානා සහ අගස්ත්‍ය අතර සමීප ඇසුරක් ඇතිව තිබුණේ ඔවුන් දෙදෙනා The Archies -නැමැති සිනමාපටයේ රඟපාමින් සිටියදී බවක් ද වාර්තා වේ. ආදර සම්බන්ධයක් දක්වා දුර දිග ගියේ මෙම ඇසුර බව පැවසේ. මෙම සිනමා පටයේ රූපගත කිරීම් කෙරුණේ පසුගිය වසරේ යි. තමුන් දෙදෙනා අතර ඇති සම්බන්ධය සැඟවීමට ඔවුන් එහි දී උත්සාහ නොකළ බව එම සිනමාපටයට සම්බන්ධ කෙනෙකු මාධ්‍ය සමග පවසා තිබිණි. The Archies දෙසැම්බර් 7 වැනි දින ප්‍රදර්ශණය ආරම්භ කිරීමට නියමිතව තිබේ.

The Archies චිත්‍රපටය මිතුරු මිතුරියන් සත් දෙනෙකු ගැන කියැවෙන නිර්මාණයකි. ඔවුහු සංගීත කණ්ඩායමක සාමාජිකයන් ද වෙති. ආදරය, මිත්‍රත්වය වැනි කාරණා සමග බැඳුණු විවිධ අත්දැකීම්වලට මෙම සත් දෙනා මුහුණ දෙන ආකාරය ඇසුරෙන් The Archies කතා පුවත විකාශනය වෙයි. මෙය හැඳින්වෙන්නේ සංගීතමය ප්‍රහසන (Musical Comedy) සිනමාපටයක් ලෙසිනි. නවසිය හැටේ දශකය පසුබිම් කරගත් මෙය ඇමරිකානු චිත්‍රකතා පෙලක් ඇසුරෙන් නිර්මාණය වූවකි. මෙහි අගස්ත්‍ය රඟපාන්නේ ආචි ඇන්ඩෲස් නැමැති චරිතයකි. සුහානා වෙරෝනිකා ලොජ් නැමැති චරිතයක් නිරූපනය කරයි.

The Archies සිනමා ශාලාවල ප්‍රදර්ශණය වන සිනමාපටයක් නොවේ. එය ප්‍රේක්‍ෂකයන් හමුවට එන්නේ නෙට්ෆ්ලික්ස් ස්ටී්‍රමිං සේවාව ඔස්සේ යි.

සුහානා සහ අගස්ත්‍ය දෙදෙනාට අමතරව බොලිවුඩයේ තවත් ජනප්‍රිය සිනමා පවුලක සාමාජිකාවක් මෙයට රංගනයෙන් දායක වෙයි. ඒ කුෂි කපූර් ය. කුෂි යනු කලෙකට පෙර ජීවිතයෙන් සමුගත් සුප්‍රකට නිළි ශ්‍රී දේවි ගේ බාල දියණිය යි. ඇයගේ පියා බොනී කපූර් ප්‍රධාන පෙලේ චිත්‍රපට නිශ්පාදකවරයෙකි. කුෂිගේ වැඩිමල් සොහොයුරිය වන ජන්වි ද මේ වනවිට ඉතා ජනප්‍රිය, දක්‍ෂ නිළියකි.

The Archies සුහානා, අගස්ත්‍ය සහ කුෂි තිදෙනාගේ ම පළමු සිනමාපටය වීම විශේෂත්වයකි. මෙය අධ්‍යක්‍ෂණය කළේ ද තවත් සිනමා පවුලක සාමාජිකාවක වන සොයා අක්තාර් ය. බොලිවුඩ් සිනමාවේ කීර්තිමත්ම ගීත රචකයකු ද කවියකු මෙන්ම තිර රචකයකු ද වන ජාවෙඩ් අක්තාර් ඇයගේ පියා යි. සොයා ගේ මව වන හනි අයිරානි නිළියක ලෙස මෙන්ම තිර රචිකාවියක ලෙස ද ප්‍රසිද්ධියක් දිනා සිටියාය.

මෙම සිනමාපටයේ රඟපෑම සඳහා ප්‍රසිද්ධ සිනමා පවුල්වල දරුවන් යොදා ගැනීම ගැන යම් යම් චෝදනා ද එල්ල විය. මෙම චෝදනා එල්ල කළ අය පැවසුවේ එය බොලිවුඩයේ පවුල්වාදය පිලිබිඹු කරන්නක් බව යි. අධ්‍යක්ෂිකා සොයා අක්තාර් මෙම චෝදනාවලට පිලිතුරු දී තිබෙනු ද දැකිය හැකි විය. ඇය වරක් පවසා තිබුණේ මෙම චෝදනා එල්ල කරන්නන් මෙහි ප්‍රධාන චරිත රඟපාන අයගෙන් ඉහත කී තිදෙනා ගැන අවධානය යොමු කරනු විනා ඉතිරි සිව්දෙනා ගැන කතා නොකිරීම කණගාටුවට කාරණයක් බවයි. ඔවුන් සිව් දෙනා ද නවක නළු නිළියන් ය.

නිහාල් පීරිස්

රසගඟුල