23දා ඥානසාර හිමියෝ යළි චීවරයෙන් අධිකරණයට

සංශෝධනය කරන ලද නව බන්ධනාගාර රෙගුලාසිවලට අනුකූලව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එළඹෙන ඔක්තෝබර් 23 වැනිදා චීවරයෙන් යුතුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව බුද්ධශාසන අමාත්‍ය හිණිදුම සුනිල් සෙනෙවි මහතා අනාවරණය කර තිබේ.ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ පැවිදි අනන්‍යතාවට අදාළ ආගමික සම්ප්‍රදායන් හා නියමිත පටිපාටීන්ට ගරු කරමින් කටයුතු කිරීම සඳහා මේ වන විට අදාළ පියවර ගනිමින් පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කර ඇත.ඒ අනුව, ඥානසාර හිමියන් චීවරයෙන් යුතුව අධිකරණයට ඉදිරිපත් කිරීමේදී අනුගමනය කළ යුතු සුදුසු ක්‍රියාමාර්ග පිළිබඳ උපදෙස් ලබාගැනීම සඳහා බුද්ධශාසන කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් විශේෂ ලිපියක් යොමු කරනු ලැබ තිබේ. එම ලිපිය යොමු කර ඇත්තේ ඥානසාර හිමියන් අයත් නිකායේ මහානායක හිමිපාණන් වහන්සේ වෙත බව ද අමාත්‍යවරයා පවසා ඇත.මහානායක හිමිපාණන් වහන්සේගෙන් ලැබෙන උපදෙස් හා මාර්ගෝපදේශ අනුව, ඉදිරි කටයුතු පිළිබඳ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දැනුවත් කිරීමට බුද්ධශාසන කටයුතු කොමසාරිස් ජනරාල්වරයා අපේක්ෂා කරන බව ද වාර්තා වේ.ඥානසාර හිමියන්ගේ චීවරය සම්බන්ධයෙන් මතුවූ මෙම ගැටලුව දේශපාලන හා ආගමික ක්ෂේත්‍ර තුළ ද අවධානයට ලක්ව තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ මෙය අනවශ්‍ය ප්‍රශ්නයක් ඉස්මතු කර ගැනීමක් බවයි.මේ අතර, අධිකරණ නියෝග ඉක්මවා කටයුතු නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර තිබියදී, සෞදි අරාබියේ අභියාචනාධිකරණයකින් මරණ දඬුවම නියමව සිටි අනෝජන් නමැති ශ්‍රී ලාංකික තරුණයා නිදහස් කර ගැනීම සඳහා ගත් උත්සාහය ද මේ වන විට කතාබහට ලක්ව ඇත.ඥානසාර හිමියන්ගේ චීවරය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර, බන්ධනාගාර නීතිරීති, අධිකරණ ක්‍රියාමාර්ග සහ බෞද්ධ පැවිදි සම්ප්‍රදායන් අතර පවතින සම්බන්ධතාව පිළිබඳ සංවාදය තවදුරටත් ඉදිරියට ගෙන යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

කාලීන පුවත්