මැදපෙරදිග යුද්ධය නිසා දේශීය ඉන්ධන මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක්

මැදපෙරදිග කලාපයේ පවතින දැඩි යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අඛණ්ඩව ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන්, ඉදිරියේදී මෙරට ඉන්ධන මිල තවදුරටත් ඉහළ දැමීමට සිදුවීමේ මැදපෙරදිග යුද්ධය නිසා දේශීය ඉන්ධන මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අනතුරු අඟවයි. අර්බුදකාරී ගෝලීය වටපිටාව නොසලකා හරිමින්, දේශීය වෙළඳපොළේ තෙල් මිල කෘතිමව පාලනය කරමින් පාරිභෝගිකයාට සහන ලබාදීමට උත්සාහ කළහොත්, වත්මන් ආර්ථිකය තවදුරටත් දැඩි කඩාවැටීමකට ලක්විය හැකි බව හෙතෙම පෙන්වා දෙයි. දෙරණ රූපවාහිනී නාලිකාව සමඟ පැවැති විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේ පවතින අභියෝගාත්මක තත්ත්වය හමුවේ රටේ උද්ධමනය පාලනය කරගැනීම සඳහා රජය සහ මූල්‍ය බලධාරීන් ඉදිරියේදී ඉතා දැඩි හා තීරණාත්මක පියවර ගත යුතු බවයි.

ගෝලීය දේශපාලන අර්බුද දීර්ඝ වීම දේශීය ආර්ථිකයට සෘජුව බලපා ඇති අයුරු පැහැදිලි කළ ආචාර්ය වීරසිංහ මහතා, මුල් අවධියේදී මැදපෙරදිග යුද ගැටුම් කෙටි කාලීන වනු ඇතැයි අපේක්ෂා කළද, එය දිගුකාලීන එකක් බවට පත්වීම නිසා ජාත්‍යන්තර තෙල් මිල ඉහළ මට්ටමක ස්ථාවර වී ඇති බව සඳහන් කළේය. මෙහි සෘජු ප්‍රතිඵලයක් ලෙස මීට පෙර 1.6% ක් වැනි පහළ මට්ටමක පැවති මෙරට උද්ධමනය මේ වන විට 5.5% ක සීමාව දක්වා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි හෙතෙම අනාවරණය කළේය. සැපයුම් මාර්ගවල පවතින බාධා වැළැක්වීමට අපොහොසත් වුවහොත්, දැනට 5% සීමාවේ දෝලනය වන උද්ධමනය ඉදිරි මාස කිහිපය තුළ 7% දක්වා තවදුරටත් ඉහළ යාමේ බරපතළ අවධානමක් පවතින බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගියද, රට තුළ ඉන්ධන පරිභෝජනයේ කිසිදු අඩුවීමක් දක්නට නොලැබීම ආර්ථික කළමනාකරණය හමුවේ මතු වී ඇති ප්‍රධානතම අභියෝගයකි. මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙන පරිදි, පසුගිය මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාස තුනේදීම මෙරට සමස්ත ආනයන වියදම අඛණ්ඩව ඇමරිකානු ඩොලර් බිලියන දෙකේ සීමාව ඉක්මවා ගොස් ඇත. මෙවැනි අධික විදේශ විනිමය පිරිවැයක් දරමින් තෙල් ආනයනය කර, එය අඩු මිලට දේශීය වෙළඳපොළට නිකුත් කිරීම වත්මන් ආර්ථික ශක්තියට කිසිසේත්ම ඔරොත්තු නොදෙන බවත්, පවතින යථාර්ථය හමුවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) පවා මිල සංශෝධනයන් සිදුකිරීම සඳහා දැනටමත් ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවත් ඔහු අනාවරණය කළේය.

නුදුරු අනාගතයේදී උද්ධමනය පාලනයෙන් ගිලිහී යාම වැළැක්වීම සඳහා මහ බැංකුව දැනටමත් මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට (Monetary Policy Tightening) පියවර ගෙන ඇති බව ප්‍රකාශ කළ අධිපතිවරයා, මෙහි මූලික අරමුණ වෙළඳපොළ තුළ පවතින අනවශ්‍ය ඉල්ලුම සීමා කිරීම බව පැහැදිලි කළේය. “අපි උපරිමයෙන් උත්සාහ කරන්නේ ඉල්ලුම කළමනාකරණය කිරීම හරහා උද්ධමනය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමටයි. එසේ නොවුණහොත්, රටේ සමස්ත පොලී අනුපාත තවදුරටත් ඉහළ දැමීමට මහ බැංකුවට සිදුවනු ඇතැයි”ද ඔහු අනාවරණය කළේය.

කාලීන පුවත්