වියට්නාම් පොලීසිය මසට කැප වූ බළලුන් 400 ක් මුදා ගනී

පසුගිය සතියේ වියට්නාමයේ හෝ චි මිං නගරයේ සිදුකළ මහා පරිමාණ වැටලීමකින් බළල් මස් ජාවාරමකට හසුව සිටි බළලුන් 400කට වැඩි පිරිසක් බේරා ගැනීමට එරට පොලිසිය සමත් වී තිබේ. රජයට අයත් ‘තුවෝයි ට්රේ’ පුවත්පතට අදහස් දක්වමින් පොලිස් නිලධාරී න්ගුයෙන් දේ බාඕ පැවසුවේ, මේ වන විට ඉන් අවම වශයෙන් බළලුන් 40 දෙනෙකු පමණ ඔවුන්ගේ අයිතිකරුවන් වෙත නැවත භාර දී ඇති බවත්, තම සුරතලුන් අහිමි වූ පුද්ගලයන්ට පොලිස් ස්ථානයට පැමිණ ඔවුන් හඳුනාගැනීමටත් පොලිස් පරීක්ෂණ සඳහා සහාය වීමටත් හැකියාව පවතින බවත්ය. කෙසේ වෙතත්, දින කිහිපයක් පුරා ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුමෙන් පසුව බළලුන් රඳවා සිටි කෲර තත්ත්වයන් හේතුවෙන් උන්ගෙන් කිහිප දෙනෙකු මිය ගොස් ඇති බව සත්ව සුභසාධන සංවිධාන පවසන නමුත්, මියගිය සංඛ්‍යාව හෝ වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය කර නොමැත. මෙම මුදාගැනීමෙන් පසු හෝ චි මිං නගරයේ අපරාධ විමර්ශන අංශය විසින් පවත්වාගෙන යන පරිශ්‍රයක තාවකාලික මුදාගැනීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති අතර, බේරාගත් බළලුන් රැකබලා ගැනීම සඳහා පශු වෛද්‍යවරුන් සහ ස්වේච්ඡා සේවකයන් විශාල පිරිසක් එහි පැමිණෙමින් සිටිති. ජාත්‍යන්තර ලාභ නොලබන සංවිධානයක් වන ‘Humane World for Animals’ හි සුනඛ හා බළල් මස් පරිභෝජනයට එරෙහි ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රධානී කරන්වීර් කුක්රේජා මෙම සිදුවීම හඳුන්වා දී ඇත්තේ “වියට්නාමයේ බළල් මස් වෙළඳාම කෙතරම් මහා පරිමාණයෙන් සිදුවන්නේද යන්න සිහිපත් කරවන කණගාටුදායක පණිවිඩයක්” ලෙසිනි.

කාලීන පුවත්