ලාංකිකයන් අතර ජනප්‍රියම විදේශීය දේශපාලන නායකයන් අතර ඉදිරියෙන්ම සිටින කෙනෙක් තමයි ඇමරිකාවේ හිටපු ජනාධිපති බරැක් ඔබාමා. ඇමරිකාවේ ජනාධිපති පදවියට පත් පළමු කළු ජාතිකයාත් ඔහුයි. මේ නිසාත් ඔබාමාගේ යම් සමීපත්වයක් සුදු ජාතිකයන් නොවන අපට දැනෙන්න ඇති.
ඒ වගේම ඔහුගේ ශරීර භාෂාවත් ඉතාම සරළ, සැහැල්ලු බවක් පළ කරන අතර සිනාවත් බොහොම මිත්‍රශීලී බවක් පළ කරනවා. ලාංකිකයන්ට මෙන්ම ලෝකයේ බොහෝ දෙනාට ඔබාමා ආකර්ශණීය චරිතයක් වන්නට මේ වගේ දේවලුත් බල පෑවා.
බරැක් වගේම ඔහුගේ බිරිඳ මිෂෙල් ඔබාමාත් බොහොම ජනප්‍රිය කෙනෙක්. ලෝකයේ බොහෝ තරුණියන් ඇතුළු කාන්තාවන් ඇය ආදර්ශයක් ලෙස සලකනවා.
කෙසේ හෝ වේවා, ළඟකදී සිට මේ දෙදෙනා ගැන එතරම් සතුටුදායක නොවන කටකතාවක් ද පැතිරෙමින් තිබෙනු දැකගත හැකියි. ඔවුන්ගේ විවාහය තුළ යම් ප්‍රශ්නයක් තිබෙන ආකාරයක් පෙනී යන බවයි මේ කටකතාවලින් කියැවෙන්නේ.
මේ විදියේ කතන්දර පැතිරෙන්නට පටන් ගත්තේ පසුගිය දිනවල ඔවුන් දෙදෙනා ප්‍රසිද්ධ අවස්ථාවලට එකට සහභාගි වනු දක්නට නොලැබීමත් සමගයි. ඇමරිකාවේ සුප්‍රකට ජනාධිපතිවරයකු වූ ජිමී කාටර් ගේ අවමගුල් උත්සවයට සහ ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වුණේ බරැක් ඔබාමා පමණයි. මෙම අවස්ථාවන්ට අනෙක් හිටපු ජනාධිපතිවරුන් ඔවුන්ගේ බිරින්දෑවරුන් සමග සහභාගි වෙද්දී බරැක් පමණක් තනිව සහභාගි වීම කැපී පෙනුණු සිද්ධියක් වුණා. ඔවුන්ගේ යුග දිවියේ යම් ප්‍රශ්නයක් ඇති වෙලාද යන සැකසංකා මතු වන්නට පටන් ගෙන තිබුණේ මෙවැනි සිදුවීම්වලින් පසුවයි. ඔවුන් දික්කසාද වීමට සූදානම් වෙනවාද යන සැකයත් සංසරණය වෙමින් තිබෙනු දැකිය හැකි වුණා.
කලෙකට පෙර මිෂෙල් ඇගේ මතක සටහන් ඇතුළත් ග්රන්ථයක් නිකුත් කළා.එහි නම Becoming. සිය සැමියාගේ දේශපාලන කටයුතු , අපේක්ෂාවන් සහ කාර්යබහුල බව නිසා විවාහය තුළ තමා මුහුණ දුන් ගැටලු ගැන ඇය මේ පොතේ විවෘතව කතා කර තිබෙනවා. තමාගේ ජීවිතය පාලුවෙන්, තනිකමෙන් සහ විඩාපත් බවින් පිරී තිබූ ආකාරය ගැනත් ඇය එහි සඳහන් කරනවා. මේ දෙදෙනා දික්කසාද වීමට යනවාද යන සැකසංකාවලට මෙවැනි කාරණාවලිනුත් යම් උදව්වක් ලැබෙනවා විය හැකියි.
කෙසේ හෝ වේවා, මිෂෙල් ඔබාමා පසුගිය දිනෙක ඉහත කී කටකතා ගැන අදහස් දක්වා තිබුණා. එහි දී ඇය මේ කතා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කර තිබෙනවා. කෙසේ නමුත් ඇය පවසන්නේ දැන් තමා වඩාත් නිදහසේ සහ ස්වාධීනව තීරණ ගන්නා බව යි. තම සැමියාගේ කාලසටහනට අනුකූලව තමාගේ කාලසටහන සකස් කරගන්නවාට වඩා තමාගේම කාලසටහනකට අනුව කටයුතු කරන බවකුයි ඇය පෙන්වා දෙන්නේ. මෙයින් අදහස් වන්නේ ඇය යන එන තැන් ගැන, කරන කියන කටයුතු ගැන මිෂෙල් දැන් වඩාත් ස්වාධීනව තීරණ ගන්නා බවකු යි. දීර්ඝ කාලයක් සිය සැමියාගේ ජීවන ශෛලියට ගැලපෙන ආකාරයෙන් ජීවිතය හැඩගසා ගෙන සිටි ඇය මේ ආකාරයෙන් ස්වාධීනත්වයක් අපේක්ෂා කිරීම කිසිසේත් වරදක් ලෙස සැලකිය හැක්කක් නොවෙයි.
නමුත් බොහෝ දෙනෙකුට මෙය තේරුම් ගැනීමට අපහසු වී ඇති බවත් ඈ පවසනවා. ” ඒ නිසා මාත්, මගේ සැමියාත් දික්කසාද වීමට යනවා යයි සිතන්නට ඔවුන් යොමු වෙලා තිබෙනවා” මිෂෙල් තවදුරටත් ප්‍රකාශ කර තිබුණා.
තවත් සාකච්ඡාවකදී මිෂෙල් පවසා තිබුණේ තමාත් තම සැමියාත් කවදාවත් දික්කසාද වන ජාතියේ දෙදෙනෙකු නොවන බව යි.
මිෂෙල් ඔබාමා වඩාත් ස්වාධීනව කටයුතු කරන්නට තීරණය කිරීම පිටුපස යම් යම් පවුල් ප්‍රශ්න තිබෙනවා විය හැකි බවටත් අදහස් පළ වී තිබෙනු දැකගන්නට ලැබුණා.
මේ අතර බරැක් ඔබාමා ද මෙයට ටික දිනකට පෙර එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඔවුන් ගේ සම්බන්ධය ගැන කතා කර තිබුණා. තමා ජනාධිපති පදවිය දැරූ කාලයේ මිෂෙල් සම්බන්ධයෙන් තමාට බොහෝ දේ මග හැරුණු බවක් ඔහු එහි දී පිලිගෙන තිබුණා. ඒ නිසා දැන් තමා ඒ තත්වය නිවැරදි කිරීමට උත්සාහ ගනිමින් සිටින බවකුත් හිටපු ජනාධිපතිවරයා පවසනවා. තමා දැන් වෙනදාට වඩා විනෝද කටයුතු ආදියෙහි යෙදෙන්නට අමතක නොකරන බවත් ඔහු සඳහන් කර තිබුණා.
63 වැනි වියෙහි පසුවන බරැක් සහ 61 වැනි වියෙහි පසුවන මිෂෙල් දෙදෙනාගේ යුග දිවියට මේ වනවිට වසර 32 ක් ගත වී තිබෙනවා. ඔවුන්ගේ විවාහය සිදු වූයේ 1992 වසරේ යි.
බරැක් සහ මිෂෙල් දෙදෙනා මුලින්ම මුණ ගැසුණේ නීතිඥ සමාගමක රැකියාව කරද්දීයි. ඒ නවසිය අසූ ගණන්වල අවසන් භාගයේ යි. බරැක් එම ආයතනයට එක් වෙද්දීත් මිෂෙල් එහි රැකියාව කරමිනුයි සිටියේ. අලුතෙන් සමාගමට එක් වූ බරැක්ට යම් යම් උපදෙස් ලබා දීමට මිෂෙල්ව පත් කර තිබූ බව සඳහන් වෙනවා.
මේ ආකාරයෙන් එකිනෙකා දැන හඳුනා ගත් ඔවුන් අතර ආදර සම්බන්ධය ආරම්භ වී තිබුණේ 1989 වසරේ යි. ආදරවන්තයන් ලෙස ඔවුන් මුලින්ම ගිහින් තිබුණේ චිත්‍රපටයක් නැරඹීමට යි.
මේ දෙදෙනා දියණියන් දෙදෙනෙකුගේ මව්පියන්. වැඩිමල් දියණිය වන මාලියා ගේ වයස අවුරුදු 26 ක් වන අතර බාල දියණිය සාෂා 23 වැනි වියෙහි පසුවෙනවා.
බරැක් සහ මිෂෙල් පසුගිය ඔක්තෝබර් 3 වැනි දින ඔවුන්ගේ 32 වැනි විවාහ සංවත්සරය සැමරුවා.
වසර තිස් ගණනක යුග දිවිය තුළ තමාට බරැක්ව රුස්සන්නට බැරිව සිටි කාලයක් ද තිබූ බව එක් අවස්ථාවක මිෂෙල් ඉතා විවෘතව ප්‍රකාශ කර තිබුණා. ඒ ඔවුන්ගේ දියණියන් ළමා විය ගෙවමින් සිටි අවදියේදී යි. එකල බරැක් ඔහුගේ දේශපාලන ජීවිතය ප්‍රමුඛතාවයේ තබා කටයුතු කරද්දී මිෂෙල්ට දරුවන්ගේ කටයුතු ද, ඇගේ වෘත්තිය පිලිබඳ කටයුතු ද සියල්ල කර තබාගෙන යාමට සිදුව තිබූ බවයි පෙනෙන්නේ. සැමියාව නොරුස්සන තත්වයක් තිබුණේ මේ කාලයේ බවයි මිෂෙල් පවසා තිබුණේ.
නිහාල් පීරිස්