රුහුණු කතරගම මහ දේවාලයේ පඬුරු සොරකමක්

රුහුණු කතරගම මහ දේවාලයට බැතිමතුන් විසින් පඬුරු වශයෙන් පිරිනමන ලද මුදල් එහි කපු පාර්ශවයට අයත් පිරිසක් විසින් වංචා කර ඇති බවට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් කතරගම පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.මෙම පැමිණිල්ල පසුගිය 04 වන දා සවස රුහුණු කතරගම මහ දේවාලයේ පරිපාලන ලේකම් සනත් ඒකනායක මහතා විසින් කතරගම පොලිසිය වෙත ඉදිරිපත් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.රුහුණු කතරගම මහ දේවාලයේ පඬුරු පෙට්ටි දොළහක් ඇති බවත්, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් සෑම මාස තුනකට වරක්ම එම පඬුරු පෙට්ටිවල ඇති මුදල් ගණනය කර දේවාලයේ කටයුතු සඳහා අදාල ගිණුමට බැර කරන බවත් රුහුණු කතරගම මහ දේවාලයේ .පරිපාලන ලේකම්වරයා විසින් පොලිසියට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලේ සඳහන් ය.එම පැමිණිල්ලේ වැඩිදුරටත් දැක්වෙන්නේ, පෙරහර මාසය භාරව සිටින කපු පාර්ශවයට අයත් පිරිසක් විසින් මහ දේවාලයේ පිටුපස දොරටුව අසල පිහිටි පඬුරු පෙට්ටිය පිටුපසින් තැටියක් තබා බැතිමතුන්ගෙන් පඬුරු එකතු කරගන්නා අයුරු දුටු බැතිමතෙකු විසින් එම තොරතුර කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ ඩීෂාන් වික්‍රමරත්න මහතා වෙත දැනුම් දී ඇති බවයි.පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ පසුව දේවාලයේ සවිකර ඇති සී.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්ෂා කිරීමෙන් පසුව රුහුණු කතරගම මහ දේවාල පරිපාලන ලේකම්වරයා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි.එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලීමක් කරමින්, අදාළ සී.සී.ටී.වී. කැමරා දර්ශන ද පොලිසිය වෙත ඉදිරිපත් කර ඇති බවකි.කතරගම දේවාලයේ පූජා වට්ටි මතට ඉහළ වටිනාකමකින් යුතු මුදල් නෝට්ටු හා රන් ආභරණ තබා කපුවන් අතට පත් නොකළ යුතු අතර සාධනීය ආකාරයට භාවිතාවීම පිණිස ඒවා රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ කාර්යාලය වෙතට විධිමත් ලෙස භාර දිය යුතු බවට කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ ඩීෂාන් වික්‍රමරත්න මහතා විසින් දැනුම් දී ඇති පසුබිමක මෙම සොරකම සිදුව තිබේ.

කාලීන පුවත්