විදුලි ගාස්තු වැඩි නොවේ

ලංකා විදුලි බල මණ්ඩලය ඉල්ලා සිටි 6.8%ක විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව අනුව විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදු කිරීමට බලාපොරොත්තු නොවන බවට අද (14 ) පැවති විදුලි ගාස්තු නිවේදනය කිරීමේ මාධ්‍ය හමුවේදී මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය කේ. පී. ලලිත් චන්ද්‍රලාල් මහතා විසින් නිවේදනය කරන ලදී.ඒ අනුව වසරේ ඉදිරි මාස 3ක කාලය සඳහා පවතින විදුලි ගාස්තු නොවෙනස්ව පවත්වාගෙන යන බව මහාචාර්ය වරයා කීය.මෙම වසරේ ජනවාරි 17 වන දින සිට 20%කින් විදුලි ගාස්තු අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිසම කටයුතු කළ අතර ඉන්පසු ජූනි 11 වන දින 15%ක ගාස්තු වැඩි වීමක් නිවේදනය කොට තිබිණ.එය ජූනි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා වලංගු බව ද නිවේදනයේ සඳහන්ව තිබිණි.එලෙස තිබියදී නැවත වතාවක් මෙලෙස විදුලි ගාස්තු සංශෝධනයක් කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඉල්ලා තිබුණේ විදුලි ගාස්තු ඉහළ දමා මාස 4ක පමණ කාලයක් ගත වූ පසුව ය.සාමාන්‍යයෙන් විදුලි ගාස්තු සංශෝධනය සිදුවන්නේ මාස හයකට වරකි. මාස හයකට වරක් විදුලි ගාස්තු සම්බන්ධයෙන් සලකා බැලීමක් සිදු කර මහජන උපයෝගීතා කොමිසම විසින් මහජන උපදේශන වැඩසටහන් සිදු කරනු ලබයි. ඉන්පසුව සියලු පාර්ශවයන්ගේ අදහස් සලකා බලා අවසන් විදුලි ගාස්තුව තීරණය කර නිවේදනය කිරීම සිදු කරන්නේ මහජන උපයෝගීතා කොමිසම මඟිනි.එම කොමිසම මේ තීරණය ගෙන ඇත්තේ ඒ අනුව ය.

කාලීන පුවත්