ලෝක දේශපාලනය ගැන උනන්දුව දක්වන කව්රුත් වාගේ මේ දිනවල කුතුහලයෙන් යුතුව බලා සිටින කාරණයක් වන්නේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ සාම සැලැස්ම සාර්ථක වී ගාසා යුද්ධය සම්පූර්ණයෙන් අවසන් වනු ඇත් ද යන්න යි.
වසර දෙකක් ගත වී ඇති ගාසා යුද්ධය නිසා මේ වනවිට මිය ගොස් ඇති ගණන 70,000 කට ආසන්න ය. කුඩා දරුවන් 20,000 ක් පමණ ඊට ඇතුළත් වේ. ඊට අමතරව 160,000 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර මිලියන 1.9 කට කිට්ටු සංඛ්‍යාවක් අවතැන්ව සිටිති. ගාසා තීරය තුළ ආහාර ඇතුළු බොහෝ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟය නිසා එහි බොහෝ දෙනා මහත් දුක්පීඩා විඳිමින් සිටින අතර පසුගිය කාලයේ කුඩා දරුවන් මන්දපෝෂණයෙන් මිය යන තත්වයක් ද ඇති විය. මෙම තත්වය තුළ මෙම යුද්ධය අවසන් වනතුරු සාමයට ලැදි කව්රුත් බලා සිටින්නේ මහත් උනන්දුවෙනි.
මෙම පසුබිම තුළ මෙයට ටික දිනකට පෙර ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ඉදිරිපත් කළ කරුණු 20 කින් සමන්විත සාම සැලැස්ම කාගේත් අවධානයට ලක් වූ අතර ඒ හරහා ඊශ්‍රායලය සහ ගාසා තීරයේ හමාස් සංවිධානය අතර පවතින යුද්ධය අවසන් කිරීමට හැකි වනු ඇතැයි යන බලාපොරොත්තුවක් බොහෝ දෙනා තුළ ඇති වී තිබේ.
මෙම සාම සැලැස්මේ පළමු අදියර මේ වනවිට බොහෝ දුරට සාර්ථකව අවසන්ව තිබීම එම බලාපොරොත්තු තවත් ඉහළ දැමීමට හේතු වී ඇති බව ද පෙනේ. පළමු අදියර යටතේ මේ වනවිට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ද ඇති වී තිබෙන අතර ඒ අනුව පසුගිය කාලයේ ගාසා තීරයට ඊශ්‍රායලයෙන් එල්ල වූ දරුණු ප්‍රහාර නතර වී ඇත. ගාසා තීරයේ ඇතැම් ප්‍රදේශවලින් ඊශ්‍රායල හමුදා ඉවත්ව තිබීම ද තවත් විශේෂත්වයකි.
සාම සැලැස්මේ මෙම පළමු අදියර තුළ සිදු වූ තවත් වැදගත් සිදුවීමක් වූයේ පසුගිය කාලයේ හමාස් සංවිධානය විසින් අල්ලා ගෙන යනු ලැබ ඔවුන් භාරයේ ඉතිරිව සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 20 දෙනා නැවත ඊශ්‍රායලයට භාර දීම යි.
මෙම ප්‍රාණ ඇපකරුවන් හමාස් සටන්කරුවන් විසින් අල්ලාගෙන යන ලද්දේ 2023 ඔක්තෝබර් 07 වැනි දින එම සටන්කරුවන් පිරිසක් ඊශ්‍රායලයට කඩා වැදී ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ යි. ගාසා යුද්ධය ආරම්භ වූයේ ද මෙම ප්‍රහාරයට ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට කටයුතු කිරීමත් සමග ය.
එදින ප්‍රාණ ඇපකරුවන් 250 ක් පමණ මේ ආකාරයෙන් අල්ලාගෙන යනු ලැබිණි. පසුකාලයේ ඔවුන් අතරින් ඇතැමුන් නිදහස් කරන ලද අතර තවත් සමහරු යුද්ධය නිසා මරණයට පත් වූහ. අවසානයේ හමාස් සංවිධානය භාරයේ ඉතිරිව සිටියේ ප්‍රාණඇපකරුවන් 20 දෙනෙකු පමණි. ඊට අමතරව මිය ගිය ප්‍රාණඇපකරුවන් 28 දෙනෙකුගේ සිරුරු ද ඔවුන් භාරයේ ඇති බව පැවසිණි.
හමාස් සංවිධානය ඉහත කී (ජීවතුන් අතර සිටි) ප්‍රාණ ඇපකරුවන් 20 දෙනා නිදහස් කිරීමත් සමග ඊශ්‍රායලය ද එරට බන්ධනාගාරවල රඳවාගෙන සිටි පලස්තීන ජාතික සිරකරුවන් 250 කට ආසන්න සංඛ්‍යාවක් නිදහස් කිරීමට කටයුතු කළේය. ඊට අමතරව චෝදනා රහිතව ඊශ්‍රායලය තුළ රඳවාගෙන හුන් තවත් ගාසා වැසියන් 1,700 ක් පමණ නිදහස් කිරීමට ද ඊශ්‍රායලය පියවර ගත්තේය.
මේ අතර ගාසා තීරය වෙත මානුෂීය ආධාර සැපයීම ද වඩාත් වේගවත් වී ඇති බවක් සඳහන් විය.
මෙම තත්වය තුළ ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ගාසා යුද්ධය දැන් අවසන් බව යි. යුද්ධයෙන් විනාශයට පත් ගාසා තීරය නැවත ගොඩ නැගීමේ කටයුතු සම්බන්ධයෙන් පවා ඔහු පසුගිය දිනවල කතා කර තිබිණි.
එසේ වුවත් බොහෝ දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ඔහුගේ සාම සැලැස්මේ ඉදිරි අදියර ක්‍රියාත්මක කිරීම පළමු අදියරට වඩා සංකීර්ණ සහ අභියෝගාත්මක වනු ඇති බවකි. ඒ නිසා මෙම සාම සැලැස්ම සියයට සියයක් සාර්ථක වේවි ද යන්න ගැන තවමත් සැකසංකා පවතින බව සඳහන් කළ හැකිය.
ඉදිරි අදියරවල දී ක්‍රියාත්මක කළ යුතු යෝජනාවලට හමාස් සංවිධානය අවි අත්හැරීම, ගාසා තීරයේ පාලන කටයුතුවලින් ඔවුන් ඉවත් වීම, ඊශ්‍රායල හමුදා සම්පූර්ණයෙන් ගාසා තීරයෙන් ඉවත් වීම වැනි යෝජනා ඇතුළත් වේ. හමාස් සංවිධානය පවසා ඇත්තේ ස්වාධීන පලස්තීන රාජ්‍යය පිහිටුවන තෙක් තමුන් අවි අත් නොහරින බව යි.
ලෝකයේ රටවල් රැසක් මේ වනවිට පලස්තීන රාජ්‍යය පිලිගෙන තිබුණත් ඇමරිකාව, ඊශ්‍රායලය ඇතුළු ඇතැම් රටවල් තවමත් එසේ කර නැති අතර ඇමරිකාවේ සහය නොමැතිව පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීමට හැකියාවක් නැත.
මෙම පසුබිම තුළ හමාස් සංවිධානය අවි අත්හැරීම පිලිබඳ කාරණය පවතින්නේ අවිනිශ්චිත තත්වයක ය.
කෙසේ හෝ වේවා, මෙයට අදාලව ඩොනල්ඩ් ට්‍රම්ප් කර තිබූ ප්‍රකාශයක් පසුගිය දිනවල මාධ්‍ය තුළ පළ විය. ඔහු පවසා තිබුණේ හමාස් සංවිධානය සිය කැමැත්තෙන් අවි අත් නොහරින්නේ නම් ඇමරිකාව මැදිහත් වී ඔවුන් නිරායුධ කරන බව යි. මෙය තරමක් තර්ජනාත්මක ප්‍රකාශයක් ලෙස ද සැලකිය හැක්කකි.
සාම යෝජනාවල සඳහන් වන ආකාරයට ගාසා තීරයේ පාලන කටයුතුවලින් ඉවත් වීම සම්බන්ධයෙන් නම් හමාස් සංවිධානය අකැමැත්තක් පෙන්වා නැත.
හමාස් සංවිධානය පාලන කටයුතුවලින් ඉවත් වීමෙන් පසු තාවකාලික වශයෙන් ගාසා හි පාලනය පැවරීමට යෝජනා වී ඇත්තේ පලස්තීන විශේෂඥයන්ගෙන් සමන්විත අන්තර්කාලීන කමිටුවකට යි. එයින් පසු අවසානයේ එම කලාපයේ පාලනය පලස්තීන අධිකාරිය වෙත පැවරීමට යෝජනා කර ඇත.(2007 වසරේ ගාසා හි පාලනය හමාස් සංවිධානය යටතට පත් වීමට පෙර එම කලාපය පාලනය කළේ පලස්තීන අධිකාරිය යි.)
ගාසා හි පාලනය පලස්තීන අධිකාරියට පවරනවාට ඊශ්‍රායලය එකඟතාවක් දක්වන්නේ නැත.
ට්‍රම්ප් ගේ සාම සැලැස්ම සම්පූර්ණයෙන් සාර්ථක වීමට නම් ඉදිරියේදී මෙම ගැටලු විසඳා ගැනීමට සිදුවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.
කෙසේ හෝ වේවා, මෙම සාම සැලැස්මේ දෙවැනි අදියර ක්‍රියාත්මක කිරීම පිලිබඳ සාකච්ඡා මේ වනවිට යම් දුරකට ආරම්භ වී ඇති බවක් ද ඇතැම් ආරංචි මාර්ග සඳහන් කර තිබේ. ඇමරිකාව, කටාර්, තුර්කිය, ඊජිප්තුව යන පාර්ශ්වවල මැදිහත් වීමෙන් මෙම සාකච්ඡා පැවැත්වෙන්නේ ඊජිප්තුවේ යි.
නිහාල් පීරිස්