
ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඔක්තෝබර් 30 වන දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ආරම්භ කරන ලද “රටම එකට – ජාතික මෙහෙයුම” මත්ද්‍රව්‍ය උවදුරට එරෙහි ශ්‍රී ලංකාවේ අඛණ්ඩ සටනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මෙරටින් නීති විරෝධී මත්ද්‍රව්‍ය මුළුමනින්ම මුලිනුපුටා දැමීම අරමුණු කරගත් මෙම මෙහෙයුම, ජාතියේ අනාගතය සුරැකීමට දරන ලද නිර්භීත හා අත්‍යවශ්‍ය ප්‍රයත්නයක් ලෙස සැබවින්ම අගය කළ යුතු ය.
බන්ධනාගාරගතව සිටින්නන්ගෙන් 64%ක් පමණ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා සිරගත කර ඇති බවත්, වත්මන් තත්ත්වය හමුවේ තරුණ පරම්පරාව මෙම වර්ධනය වන ගැටලුවේ වින්දිතයන් බවට පත්වෙමින් සිටින බවත් ය. මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරම ව්‍යාප්ත වීම මැඩලීම සඳහා රජයට තවදුරටත් නිෂ්ක්‍රීයව බලා සිටිය නොහැකි බවත්, ඒ වෙනුවට එයට එරෙහිව සටන් කරන්නට තම රජය තීරණය කළ බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ය.
මෙම වැඩසටහන දියත් කිරීමේ අවස්ථාවේ දී ජනාධිපතිවරයා අවධාරණය කළේ, බන්ධනාගාරගතව සිටින්නන්ගෙන් 64%ක් පමණ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා සිරගත කර ඇති බවත්, වත්මන් තත්ත්වය හමුවේ තරුණ පරම්පරාව මෙම වර්ධනය වන ගැටලුවේ වින්දිතයන් බවට පත්වෙමින් සිටින බවත් ය. මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරම ව්‍යාප්ත වීම මැඩලීම සඳහා රජයට තවදුරටත් නිෂ්ක්‍රීයව බලා සිටිය නොහැකි බවත්, ඒ වෙනුවට එයට එරෙහිව සටන් කරන්නට තම රජය තීරණය කළ බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ය.

මෙම මෙහෙයුම ප්‍රවර්ධනය කිරීම සඳහා රජය විසින් “විකුණන – ලොල් වුණ සැමට දැනුම් දීමයි – ඉවත් වෙනු” (A Message to Dealers and Users – Quit) යන්න භාෂා තුනකින් සකස් කළ දැන්වීමක් යොදා ගනු දකින්නට ලැබේ. එහි අරුත වන්නේ “මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ යෙදී සිටින්නන්ට සහ ඒවා භාවිතා කරන්නන්ට ඉවත් වනු යැයි සිදු කරන අණදීමකි.” ඉංග්‍රීසි භාෂාවේ ‘quit’ යන වදනින් ඉවත්වීම අදහස් කරන මුත් එය ‘ඉවත්වන්න‘ වැනි ආයාචනාත්මක අදහසකින් මිස අණ කිරීමක් සඳහා භාවිත කරන්නක් නොවන බව සඳහන් කළ යුතුය. එබැවින්ම මේ ප්‍රචාරක දැන්වීම සඳහා මෙම වදන ‘අමුවෙන් පරිවර්තනය කර ගැනීමක්‘ සිදුවී ඇතැයිද යන සැකය ද ඉස්මතු වන බව මෙහිදී හැඟේ. මෙය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙත යොමු කරන විට එවැනි දැඩි පණිවිඩයක් අවබෝධ කරගත හැකි නමුත්, මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ට එය අදාළ කිරීමේ දී වැදගත් ප්‍රශ්නයක් මතු වේ: අණ කිරීමකින් පමණක් ඇබ්බැහිවීම ජය ගත හැකිද? බොහෝ විට මිනී මරුවන්, ස්ත්‍රී දූෂකයන් ආදී අපරාධකරුවන් ලෙස වර්ග කර සමාජයට තර්ජනයක් ලෙස සැලකුවද, මත්ද්‍රව්‍ය භාවිතා කරන්නෝ ශාරීරිකව හා මානසිකව දැඩි අසරණ තත්ත්වයක පසුවෙති. ඔවුන්ගේ තත්ත්වය හෙළා දැකීම වෙනුවට ඔවුන් ඉල්ලා සිටින්නේ කරුණාව, අවබෝධය සහ පුනරුත්ථාපනයයි. ඇබ්බැහිවීම යනු හුදෙක් සදාචාරාත්මක අසාර්ථකත්වයක් හෝ අපරාධයක් නොවේ; එය වෘත්තීය ප්‍රතිකාර සහ සමාජ සහයෝගය අවශ්‍ය වන නිදන්ගත, නැවත ඇතිවිය හැකි වෛද්‍ය තත්වයකි. නමුත් රජය මේ තත්ත්වය නිවැරදිව හඳුනා ගෙන තිබේ ද යන්න සැක සහිත ය.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනුව, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම යනු යම් ද්‍රව්‍යයක් තමාට හානිකර බව දැන දැනත්, එය භාවිතයට ගැනීමට ඇති වන දැඩි ආශාවකි. ලොල් බව යනුවෙන් හඳුන්වනුයේ ද මෙම තත්වයම ය. රෝග පිළිබඳ ජාත්‍යන්තර වර්ගීකරණයට අනුව, මෙය මනසට බලපාන ද්‍රව්‍ය භාවිතය නිසා ඇතිවන මානසික හා චර්යාත්මක ආබාධ ගොන්නට අයත් වේ. මෙයට මත්පැන්, ඔපියොයිඩ්, උත්තේජක සහ කංසා වැනි විවිධ ද්‍රව්‍ය ඇතුළත් වේ. WHO අවධාරණය කරන්නේ, මෙම ගැටලුවට විසඳුම් සෙවීමේ දී, දඬුවම් හෝ විෂ මත්ද්‍රව්‍ය ඉවත් කිරීම වැනි පටු ක්‍රමවේදවලට වඩා, සෞඛ්‍යය හා මානව හිමිකම් මත පදනම් වූ පුළුල් ප්‍රවේශයක් අත්‍යවශ්‍ය බවයි.

WHO විසින් මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම කළමනාකරණය සඳහා ව්‍යුහගත රාමුවක් ඉදිරිපත් කරයි. එහි පළමු පියවර වන්නේ වැළැක්වීමයි. පාසල් සහ ප්‍රජාවන් තුළ නිසි අධ්‍යාපනය හා දැනුවත් කිරීමේ වැඩසටහන් මෙන්ම, ශක්තිමත් පවුල් බැඳීම් පෝෂණය කිරීම, ජීවන කුසලතා ඉගැන්වීම සහ දරිද්‍රතාවය හා විරැකියාව වැනි සමාජ ආර්ථික ගැටලු ආමන්ත්‍රණය කිරීම මෙයට ඇතුළත් වේ. ඊට අමතරව, ඖෂධ පාලනය කිරීම සහ නීති විරෝධී ද්‍රව්‍ය පාලනය කිරීම ද වැදගත් වැළැක්වීමේ උපාය මාර්ග ලෙස WHO නිර්දේශ කරයි.
මත්ද්‍රව්‍ය භාවිතය ඇබ්බැහිවීමක් බවට පත්වීම වැළැක්වීමට මුල් අවධියේ හඳුනා ගැනීම සහ මැදිහත්වීම තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. සෞඛ්‍ය සේවකයන්, මත්ද්‍රව්‍ය අනිසි භාවිතයේ මුල්කාලීන ලක්ෂණ හඳුනා ගැනීමටත්, කෙටි, අභිප්‍රේරණ උපදේශන සැසි ලබා දීමටත් පුහුණු කළ යුතු ය. මෙම පිරික්සුම් කටයුතු සෞඛ්‍ය සේවා, අධ්‍යාපන ආයතන සහ සේවා ස්ථාන තුළ ද ඒකාබද්ධ කළ යුතු ය.
දැනටමත් ඇබ්බැහි වූ පුද්ගලයන් සඳහා, ප්‍රතිකාර සහ සත්කාර මානුෂීය, ප්‍රවේශ විය හැකි සහ පුද්ගල අවශ්‍යතාවන්ට අනුව සකස් කළ යුතුය. WHO විසින් ඖෂධ ආධාරක ප්‍රතිකාර සහ සංජානන-චර්යාත්මක ප්‍රතිකාර වැනි සාධක මත පදනම් වූ ක්‍රමවේද වෙනුවෙන් පෙනී සිටියි. වැදගත් වන්නේ, ප්‍රතිකාර සැමවිටම දඬුවම් කිරීමක් නොවිය යුතු බව හා ස්වේච්ඡා හා අයිතිවාසිකම් මත පදනම් විය යුතුය යන්නය.
ප්‍රතිකාර කිරීමෙන් පසු, දිගුකාලීන සුවය තහවුරු කිරීමට පුනරුත්ථාපනය හා සමාජගත කිරීම අත්‍යවශ්‍ය වේ. වෘත්තීය පුහුණුව, ස්ථාවර නිවාස, ප්‍රජා සහයෝගය සහ සමාජයෙන් කොන් කිරීමේ තත්ත්වය අඩු කිරීම මගින් පුද්ගලයන්ට නැවත ඵලදායී ජීවිත ගොඩනැගීමට උපකාර කරයි. මෙය පුද්ගලයාට ගෞරවය යථා තත්ත්වයට පත් කරනවා පමණක් නොව, නැවත ඇබ්බැහිවීම සහ අපරාධ අවම කිරීම මගින් සමාජය ද ආරක්ෂා කරයි. වහාම මත්ද්‍රව්‍ය භාවිතය නතර කළ නොහැකි පුද්ගලයන් සඳහා, හානි අවම කිරීමේ පියවර (Harm Reduction) ද වැදගත් වේ.

සමස්තයක් වශයෙන් ගත් කල, WHO හි රාමුව සාරාංශ කළ හැක්කේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සඳහා අඛණ්ඩව සත්කාර කිරීමේ ක්‍රියාවලියක් පවත්වා ගත යුතු බවය. එනම්, මූලික මැදිහත්වීම, ප්‍රතිකාර, පුනරුත්ථාපනය, සමාජගත කිරීම, හානි අවම කිරීම යන ඒවාය. මේ සියල්ල කරුණාව සහ මානව හිමිකම්වලට ගරු කිරීම යන පදනම මත පිහිටුවා ඇත. එසේ නොමැතිව අණ කිරීමක් මගින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ගලවා ගැනීමට අදහස් කරන්නේ නම් එතැන ඇත්තේ වැරදි පියවරකි. ඒ අනුව “රටම එකට – ජාතික මෙහෙයුම” මත්ද්‍රව්‍ය උවදුරට එරෙහි යාන්ත්‍රණයේ දී රජය කිඹුල් තොටුපළකින් ගඟට බැස ඇද්ද යන සැකය අප තුළ ජනිත වී තිබේ.
ජාතියක් වශයෙන් අප මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම අපරාධයක් ලෙස නොව, රෝගයක් ලෙස සැලකිය යුතුය. එය ප්‍රතිකාර, සංවේදනය සහ ව්‍යුහගත පුනරුත්ථාපනය ඉල්ලා සිටින රෝගයකි. එවැනි ප්‍රවේශයක් හරහා පමණක්, ශ්‍රී ලංකාවට මෙම අර්බුදය ජය ගැනීමටත්, ඇබ්බැහිවීමේ චක්‍රයට හසුවූවන්ට බලාපොරොත්තුව යථා තත්ත්වයට පත් කිරීමටත්, සෞඛ්‍ය සම්පන්න හා වඩාත් කරුණාවන්ත ජාතියක් ගොඩනැගීමටත් හැකි වනු ඇත.

එබැවින්, ශ්‍රී ලංකාව විසින් අලුතින් දියත් කරන ලද මෙම මෙහෙයුම මත්ද්‍රව්‍ය ආශ්‍රිත හානිය පාලනය කිරීමට අවශ්‍ය ප්‍රශංසනීය පියවරක් නියෝජනය කරන අතරතුර, විශේෂයෙන් ඇබ්බැහි වූවන් ඉලක්ක කරගත් රජයේ ප්‍රයත්නයන් වෛද්‍ය, මනෝවිද්‍යාත්මක හා මානුෂීය අවබෝධය මත පදනම් වීම අත්‍යවශ්‍ය වේ. මෙම කරුණු සලකා බැලීමකින් තොරව ක්‍රියාත්මක කළහොත්, යහපත් අරමුණින් කරන ක්‍රියාමාර්ග පවා වැඩි සමාජ හා පෞද්ගලික හානියක් ඇති කිරීමේ අවදානමක් ඇත. නමුත් මේ වන විට ඒ සඳහා වන විධිමත් යාන්ත්‍රණයක් රජය මඟින් සකසා නොමැති බව පෙනේ. නමුත් අප දැඩිව වන්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට ඉවත් වෙනු ආදී “රතු නිවේදන” නිකුත් නොකළ යුතු බවය. රජය එය ගැලරිය පිනවීම පිණිස කරන්නක් වුව ද එවන් නියෝග දීම් අතිශය හානිදායක වන අතර ඒ මඟින් ජාත්‍යන්තර හමුවේ අප අවතක්සේරුවට ලක් වීම ද වලක්වා ගත නොහැක. ඒ අනුව ජාතියක් වශයෙන් අප මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම අපරාධයක් ලෙස නොව, රෝගයක් ලෙස සැලකිය යුතුය. එය ප්‍රතිකාර, සංවේදනය සහ ව්‍යුහගත පුනරුත්ථාපනය ඉල්ලා සිටින රෝගයකි. එවැනි ප්‍රවේශයක් හරහා පමණක්, ශ්‍රී ලංකාවට මෙම අර්බුදය ජය ගැනීමටත්, ඇබ්බැහිවීමේ චක්‍රයට හසුවූවන්ට බලාපොරොත්තුව යථා තත්ත්වයට පත් කිරීමටත්, සෞඛ්‍ය සම්පන්න හා වඩාත් කරුණාවන්ත ජාතියක් ගොඩනැගීමටත් හැකි වනු ඇත.
නිරංජන් චාමින්ද කරුණාතිලක