අපි අලි එලවන්නේ පොඩි දුරක් විතරයි

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඊයේ (2) ආරම්භ වූ අලි එළවීමේ මෙහෙයුම අතීතයේ සිදු කළ පරිදි මහා පරිමාණයෙන් පලවා හැරීමක් නොවන බවත්, මිනිසුන් සහ අලි ඇතුන් යන දෙපාර්ශ්වයම ආරක්ෂා කිරීම අරමුණු කරගත් කෙටි දුර ස්ථානගත කිරීමක් බවත් පරිසර අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි පවසන්නේ මෙම වැඩසටහන හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී තීරණය කළ බවයි.කිලෝමීටර් 12 සිට 15 දක්වා දිග විදුලි වැටක් ඉදිකර ඇති බවත්, දැනට එහි දෙපස අලි ඇතුන් සිටින බවත් ඔහු පැහැදිලි කොට තිබේ.එබැවින්, මෙහෙයුමේ අරමුණ වන්නේ වැට හරහා ගොස් ගම්මානවලට ඇතුළු වූ අලි ඇතුන් දිගු දුරක් පලවා හැරීම නොව, අනෙක් පැත්තට නැවත එළවා දැමීම බව පැවසූ ඔහු “මේක මිනිස්සු කතා කරන ආකාරයේ පළවා හැරීමක් නෙවෙයි. කිලෝමීටර් අටක් හෝ දහයක් පමණ සීමිත ප්‍රදේශයක් පමණක් ආවරණය වෙමින් කරන එකක්.” ඔහු පැවසීය.
කෙසේවෙතත් වන අලින් ඔවුන් ගේ වාස කලාප වලින් පලවා හැරීම අලි මිනිස් ගැටුම උග්‍ර කරවන්නක් බව මේ වන විට මනාව සනාථ වී ඇති බව බොහෝ පරිසරවේදීහු දිගින් දිගටම පෙන්වා දෙති.

කාලීන පුවත්