තවත් ඉරාන යුද නෞකාවක් මෙරටට පැමිණීමට අවසර ඉල්ලයි

ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ රැඳී සිටින දෙවන ඉරාන යුද නෞකාවකට මෙරට වරායක් වෙත ඇතුළු වීම සඳහා අවසර ලබා දෙන ලෙස කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
පසුගිය බදාදා ශ්‍රී ලංකාවේ දකුණු මුහුදේදී ඇමරිකානු සබ්මැරීන් ප්‍රහාරයකින් විනාශ වූ ඉරාන නෞකාවේ සහායක නෞකාවක් ලෙස සැලකෙන මෙය, දැනට පානදුර මුහුදු තීරයට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදු සීමාවේ රැඳී සිටියි.අදාළ නෞකාව ආහාර සහ පානීය ජලය ලබාගැනීම සඳහා පැය 24ක කාලයකට මෙරට වරායක් වෙත පැමිණීමට අවසර ඉල්ලා ඇත. නෞකාවේ 100කට අධික කාර්ය මණ්ඩලයක් සිටින අතර, පසුගියදා එල්ල වූ ප්‍රහාරය හමුවේ ඔවුන් ද දැඩි අනාරක්ෂිත භාවයකට පත්ව ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.මාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා තහවුරු කළේ මෙම දෙවන නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවට ආසන්නව පවතින බවයි. කෙසේ වෙතත් ජාතික ආරක්ෂාව සලකා ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය කළ නොහැකි බව අමාත්‍යවරයා පැවසීය
ප්‍රහාරයෙන් මියගිය ඉරාන නාවික භටයන් 87 දෙනෙකුගේ දේහයන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ තැන්පත් කොට ඇති අතර ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් නාවිකයන් 32 දෙනෙකු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පොලිස් විශේෂ කාර්ය බලකායේ (Sඨ්F) දැඩි ආරක්ෂාව මධ්‍යයේ ප්‍රතිකාර ලබති.රෝහල් ආරංචි මාර්ග පවසන්නේ තුවාලකරුවන් සඳහා රෝහලේ වෙනම වාට්ටුවක් වෙන් කර ඇති බවයි. ප්‍රතිකාර ලබන නාවිකයන්ගෙන් බහුතරයකට ශරීරයේ විවිධ ස්ථානවල පිළිස්සුම් තුවාල අස්ථි බිඳීම් සහ සුළු තුවාල පවතින බව වාර්තා වේ.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක බුද්ධික සම්පත් මහතා ප්‍රකාශ කළේ අතුරුදන් වූ ඉරාන නාවිකයන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි. ඉන්දියාවේ විශාඛාපට්නම් හි පැවති යුද අභ්‍යාසයකට සහභාගී වී යළි පැමිණෙමින් සිටියදී මෙම නෞකාව ගාල්ලට කිලෝමීටර් 40ක් දකුණින් වූ ප්‍රදේශයේදී ප්‍රහාරයට ලක්ව ඇත.මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාව සැමවිටම මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කරන බව රජය අවධාරණය කරයි. ගැටුම් සමනය කර ගැනීම සඳහා සාකච්ඡා මාර්ගයට එළඹෙන ලෙස ශ්‍රී ලංකාව දෙපාර්ශවයෙන්ම නැවත නැවතත් ඉල්ලා සිටියි.ඉරානය ශ්‍රී ලංකාව සමඟ දීර්ඝකාලීන ආර්ථික සහයෝගයෙන් කටයුතු කරන මිත්‍රශීලී රටක් වන අතර, විශේෂයෙන්ම මෙරට තේ අපනයනය සඳහා වන ප්‍රධාන වෙළඳපොළක් ලෙස ඉරානය ශ්‍රී ලංකාවට වැදගත් වේ.

කාලීන පුවත්