තායි කුමරියගේ සෞඛ්‍ය තත්ත්වය අතිශය බරපතළ අතට

වසර තුනකට ආසන්න කාලයක් සිහිසුන් තත්ත්වයේ පසුවන තායිලන්තයේ බජ්‍රකිටියාබා කුමරියගේ සෞඛ්‍ය තත්ත්වය, ශරීරයේ අවයව කිහිපයක හටගෙන ඇති බහුවිධ ආසාදන හේතුවෙන් බරපතළ ලෙස නරක අතට හැරී ඇති බව තායි රාජකීය මාළිගාව නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී. මාළිගාව නිකුත් කළ නිවේදනයට අනුව, කුමරියගේ හෘද ස්පන්දන වේගය දැඩි ලෙස අක්‍රමවත් වී ඇති අතර එය පාලනය කිරීමට වෛද්‍යවරුන් ගන්නා උත්සාහයන් මෙතෙක් සාර්ථක වී නොමැත. මහා වජිරලොන්කෝන් රජුගේ වැඩිමහල් දියණිය වන 47 හැවිරිදි බජ්‍රකිටියාබා කුමරිය, 2022 වසරේ දෙසැම්බර් මාසයේදී හෘදයාබාධයකට ලක්වීමෙන් පසු රෝහල් ගත කෙරිණි. එතැන් පටන් ඇය වසර තුනකට ආසන්න කාලයක් අඛණ්ඩව සිහිසුන්ව (කෝමා තත්ත්වයේ) පසුවෙයි.වෛද්‍යවරුන් විසින් දිගු කලක් තිස්සේ සිදුකළ ප්‍රතිකාර හා පරීක්ෂණවලින් අනතුරුව, පසුගිය අප්‍රේල් මාසයේදී ඇගේ බඩවැල්වල දැවිල්ලක් ඇති වීමට හේතු වූ බරපතළ ආමාශ ආසාදනයක් හඳුනාගෙන තිබේ. මෙම ආසාදනය හේතුවෙන් ඇගේ රුධිර පීඩනය ශීඝ්‍රයෙන් පහත වැටී ඇති අතර, එය වත්මන් අක්‍රමවත් හෘද ස්පන්දන තත්ත්වයට සෘජුවම බලපා ඇති බව වෛද්‍ය වාර්තා පෙන්වා දෙයි. “කුමරියගේ ජීවිතය රැක ගැනීම සඳහා වකුගඩු සහ පෙනහළු ක්‍රියාකාරීත්වය වෙනුවෙන් මේ වන විටත් බාහිර ජීවදාරක වෛද්‍ය උපකරණ (Life Support) සවි කර ඇත. විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් විසින් ඇයට අවශ්‍ය දැඩි සත්කාර සහ ඖෂධ ලබා දෙමින් ඇගේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටියද, ඇගේ සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් පිරිහෙමින් පවතී.” යැයි රාජකීය පවුල පවසා සිටියි.මෙම ශෝකජනක පුවත වාර්තා වන්නේ තායි රාජකීය පවුල දැඩි ශෝකාකූල වටපිටාවක පසුවන පසුබිමකය. තායිලන්තයේ සමස්ත ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ, එරට බලගතු චරිතයක් ලෙස සැලකුණු සිරිකිත් මව් රැජින ද වයස අවුරුදු 93 දී පසුගිය වසරේ අභාවප්‍රාප්ත වූවාය. බජ්‍රකිටියාබා කුමරිය යනු තායි රාජකීය පවුලේ අනාගත ඔටුන්න හිමි කර ගැනීමට වැඩි ඉඩකඩක් පැවති, ජනප්‍රිය මෙන්ම නීති ක්ෂේත්‍රයේ ඉහළ සුදුසුකම්ලත් විද්වත් තලයේ රාජකීය සාමාජිකාවක වන බැවින්, ඇගේ සුවය පතා සමස්ත තායි වැසියන් මේ වන විට ආගමික වතාවත්වල නිරත වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කාලීන පුවත්