IMF පොරොන්දු නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල දැවැන්ත ලෙස ඉහළ යාම වැළැක්විය නොහැකියි

වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ණය වාරික ලබාගැනීම වෙනුවෙන් කොන්දේසි රැසකට එකඟ වී ඇති බැවින්, ඉදිරියේදී මෙරට ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල දැවැන්ත ලෙස ඉහළ යාම වැළැක්විය නොහැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.ඊයේ (23) පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය:
“ලබන 27 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 700ක ණය මුදලක් ලැබීමට නියමිත බව පවසමින් ආණ්ඩුව මේ වන විට පුරසාරම් දොඩමින් සිටිනවා. මේ ණය මුදල ලැබුණු පසු සතියක පමණ කාලයක් ඩොලරයේ අගය පාලනය කර ගැනීමට හැකි වේවි.හැබැයි මේ ණය වාරික ලබාගැනීම වෙනුවෙන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඕනෑම කොන්දේසියක් ඉටු කිරීමට පොරොන්දු වී තිබෙනවා. ඒ නිසා ඉදිරියේදී ඩීසල් ලීටරයක මිල රුපියල් 150කින් ඉහළ යාම කිසිසේත්ම වැළැක්විය නොහැකි බව අද මම වගකීමෙන් කියනවා.”
ලබන සතියෙන් පසුව මෙරට වෙළෙඳපොළේ පවතින අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යනු ඇති බවත්, ආනයනික භාණ්ඩ මෙන්ම දේශීය නිෂ්පාදනද ඊට ඇතුළත් වන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. “ලබන සතියෙන් පස්සේ අල, පරිප්පු, සීනි සහ ඖෂධ ඇතුළු පිටරටින් ගෙන්වන සෑම දේකම මිල ඉහළ යනවා. එපමණක් නොවෙයි, විදේශයන්ගෙන් ආනයනය කරන පොහොර යොදා ගනිමින් මෙරට වගා කරන දේශීය හාල් මිල පවා ඉහළ යාමට නියමිතයි. මේ බඩුමිල වැඩිවීමත් සමඟ රටේ ගෘහණියන්ට මෙහි නියම ‘ප්‍රතිඵලය’ හැරෙන තැපෑලෙන්ම බලාගන්න පුළුවන් වේවි.”

කාලීන පුවත්