පසුගිය දේශපාලන කරළිය පුරා ජාතික ජන බලවේගය විසින් මහත් ආන්දෝලනයක් ඇති කරමින්, රාජපක්ෂවරුන් විසින් උගන්ඩාවේ සඟවා ඇති බවට ප්‍රකාශ කළ ඩොලර් බිලියන 18 ක මුදල වත්මන් ආර්ථික අර්බුදයෙන් රට මුදවා ගැනීම සඳහා වහාම ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතු කාලය එළඹ ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව කියා සිටියේ පානදුර ප්‍රදේශයේ පැවැති ජන රැලියක් අමතමිනි.වත්මන් පාලකයන් එදා විපක්ෂයේ සිටියදී තමන්ට එරෙහිව අමූලික බොරු පවසමින් ජනතාව නොමඟ යැවූ බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, එදා තමන් පානදුර ආසනය පසුකර යන විට ගිණුමට ඩොලර් බිලියන 18ක් වැටෙන බවට ප්‍රචාරය කළද, අද වනතුරුත් එවැනි මුදලක් ලැබී නැතැයි සඳහන් කළේය. රට දැඩි ඩොලර් හිඟයකට මුහුණ දී සිටින මෙවන් මොහොතක, එදා ඔවුන් කියූ එම බිලියන 18 රටට වඩාත්ම අවශ්‍ය වී ඇති බවද ඔහු අවධාරණය කළේය.රටේ මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන්ද ආණ්ඩුව වෙත දැඩි ප්‍රහාරයක් එල්ල කළ නාමල් රාජපක්ෂ මහතා, මැතිවරණයක් පවත්වන දින වකවානු තීරණය කිරීමේ නීත්‍යානුකූල බලය ඇත්තේ පාර්ලිමේන්තුවට සහ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවට පමණක් බව මතක් කර දුන්නේය. කිසිදු රාජ්‍ය නිල තනතුරක් නොදරන, දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට ඒ සඳහා කිසිදු අයිතියක් නැති බවද හෙතෙම කියා සිටියේය. ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම්වරයා යාපනයේදී මැතිවරණ කල් දැමීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශ දැඩිව විවේචනය කළ මන්ත්‍රීවරයා, ආණ්ඩුවට කෙළින් සිට ගැනීමට කොන්දක් තිබේ නම් බස්නාහිර හෝ දකුණට බිය නොවී, අඩුම තරමින් උතුරු පළාත් සභා මැතිවරණය හෝ පවත්වා පෙන්වන ලෙසට සෘජු අභියෝගයක් කළේය.එමෙන්ම මහා සංඝරත්නයට සහ රටේ දේශීය සංස්කෘතියට සිදුවන කෙනෙහිලිකම්වලට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සැමවිටම පෙරමුණ ගන්නා බව ප්‍රකාශ කළ නාමල් රාජපක්ෂ මහතා, පසුගිය කාලසීමාවේ තමන් අතින් සිදුවූ අතපසුවීම් සහ වැරදි නිවැරදි කරගනිමින්, මහපොළොවේ පයගසා සිටින සැබෑ ජනතාවාදී බලවේගයක ප්‍රායෝගික වැඩපිළිවෙළ පානදුර පුරවරයෙන් නිල වශයෙන් ආරම්භ කළ බවද වැඩිදුරටත් අවධාරණය කළේය.