ශ්‍රී ලංකාවේ කාලගුණික තත්ත්වයට එල් නිනෝ සංසිද්ධියෙන් ඇතිවිය හැකි දැඩි බලපෑම්වලට මුහුණ දීම සඳහා ගත යුතු ක්ෂණික හා මධ්‍යකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් අද (10) දින කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන 20කට අධික සංඛ්‍යාවක ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම සාකච්ඡාවට සහභාගී වේ.ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) අනතුරු අඟවා ඇත්තේ 2026 වසරේ දෙවන අර්ධය වනවිට “සුපිරි එල් නිනෝවක්” වර්ධනය වීමේ ඉඩක් පවතින බවයි. වත්මන් එල් නිනෝ බලපෑම 2026 පුරා ශක්තිමත් වීමට ඉඩ ඇති අතර එය වාර්තාගත ශක්තිමත්ම එකක් බවට පත්විය හැකි බවද WMO අනතුරු අඟවා ඇත.ජූලි – අගෝස්තු මාසවලදී ශ්‍රී ලංකාවට නියං තත්ත්වයක් ඇති වීමේ ඉඩක් ඇත. 2026 මැයි සිට සැප්තැම්බර් දක්වා නිරිතදිග මෝසම් කාලයේදී බටහිර, දකුණ සහ මධ්‍යම කලාපවල සාමාන්‍ය වර්ෂාපතනයට වඩා අඩු වර්ෂාපතනයක් අපේක්ෂා කෙරේ.2026 දෙසැම්බර් සිට 2027 පෙබරවාරි දක්වා ඊසානදිග මෝසම් කාලයේදී උතුරු සහ නැගෙනහිර පළාත්වල සාමාන්‍යයට වඩා අධික වර්ෂාපතනයක් සහ ගංවතුර අවදානමක් පවතී.2026 ජූලි සහ අගෝස්තු මාසවලදී ශ්‍රී ලංකාව සාමාන්‍යයට වඩා සැලකිය යුතු ලෙස උණුසුම් කාලගුණික තත්ත්වයන් අත්විඳිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.පරිසර අමාත්‍යාංශයේ දේශගුණ විපර්යාස අංශයේ අධ්යක්ෂ නීල් රන්දෙණි මහතා මීට පෙර සඳහන් කර ඇත්තේ එල් නිනෝ තත්ත්වය හමුවේ මතුවන කාලගුණික විපර්යාස පාලනය සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගතයුතු බවයි. අද සාකච්ඡාවේදී පහත ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.