ඉදිරියේදී කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා සේවකයින් ගෙන්වීම ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කට පමණක් සීමා කිරීමට එරට රජය තීරණය කර තිබේ.කුවේට් රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් පසුගිය කාලීන තත්ත්වයන් සමාලෝචනය කිරීමෙන් අනතුරුව විදෙස් සේවා නියුක්තික අංශය නියාමනය කිරීමේ අරමුණින් හඳුන්වා දෙන ලද නව නීති මාලාව යටතේ මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.නව නියාමන ක්‍රමවේදය යටතේ කුවේට් ගෘහ සේවය සඳහා ශ්‍රමිකයින් සැපයීමට අවසර හිමි වී ඇති රටවල් වන්නේ ශ්‍රීලංකාව,ඉන්දියාව,නේපාලය,පිලිපීනය,වියට්නාමය,දකුණු අප්‍රිකාව, බෙනින්,එරිත්‍රියාව,ඉතියෝපියාව සහ සෙනගාලයයි.මෙම රටවල් අතරින් සෙනගාලයට පිරිමි ශ්‍රමිකයින් පමණක් ගෙන්වීමට අවසර ලබා දී ඇති අතර, සෙසු රටවල් 9 සඳහා එවැනි ස්ත්‍රී පුරුෂ භේදයක් පනවා නොමැත.කුවේට් රාජ්‍යය මැදපෙරදිග කලාපයේ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් විශාල වශයෙන් සේවය කරන ප්‍රධාන ගමනාන්තයක් වන අතර, මෙම නව තීරණය මගින් ශ්‍රී ලංකාවට එරට ගෘහ සේවා වෙළඳපොළේ දිගටම රැඳී සිටීමට අවස්ථාව හිමිවී ඇත.විදෙස් රැකියා අංශයේ ප්‍රමිතිය ඉහළ නැංවීම සහ අනවශ්‍ය ගැටලු අවම කිරීම මෙම නව නීති මාලාවේ ප්‍රධාන අරමුණ බව කුවේට් බලධාරීන් පවසා ඇත. නව නියාමනයන් ක්‍රියාත්මක වන නිශ්චිත දිනයක් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.