ඉදිරියේදී ඇතිවිය හැකි ප්‍රබල ‘එල් නිනෝ’ දේශගුණික විපර්යාසය පුරෝකථනය කර ඇති පරිදිම ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල කළහොත්, පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා සාගර ජලය පිරිපහදු කර බෙදාහැරීමට පවා සිදුවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවයි.අද (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම මධ්‍යස්ථානයේ අතිරේක ලේකම් කේ.ජී.බී. ධර්මතිලක මහතා මේ බව ප්‍රකාශ කළේය.මෙවර අපේක්ෂා කරන එල් නිනෝ තත්ත්වය පෙර නොවූ විරූ මට්ටමකින් දරුණු විය හැකි බව පෙන්වා දුන් අතිරේක ලේකම්වරයා, එහි බලපෑමෙන් මෙරට ප්‍රධාන ජල මූලාශ්‍ර පවා සිඳී යාමේ අවදානමක් පවතින බව සඳහන් කළේය.”අපි කවදාවත් ඇහුවේ නැති ‘එල් නිනෝ’ තත්ත්වයක්. මට දැනෙන විදියට මේකට අපට ගොඩක් සූදානම් වෙන්න වෙයි. සාමාන්‍යයෙන් පායන කාලයට ජාතික ආපදා සේවා මධ්‍යස්ථාන හරහා මුලු ලංකාවටම අපි මාසයක් ජලය සපයනවා. නමුත් මේ කියන එල් නිනෝ එක ආවොත් තියෙන බවුසර් මදි විශාල වශයෙන් ජලය බෙදාන්න. මෙම එල් නිනෝ තත්ත්වයෙන් ජල මූලාශ්‍ර හිඳෙන්න පුළුවන්. එවිට ජලය ලබාගන්න මූලාශ්‍ර නැති වේවි. මම හිතන්නේ සාගර ජලය පිරිසිදු කරලා බෙදලා දෙන තත්ත්වයක් ගැනත් අපට හිතන්න වෙයි,” යනුවෙන් ධර්මතිලක මහතා පැවසීය.එමෙන්ම හදිසි අවස්ථාවකදී ජලය බෙදාහැරීම සඳහා ජාතික ආපදා සේවා මධ්‍යස්ථානය සතුව ඇති ජල බවුසර් ප්‍රමාණය දැනටමත් සීමිත මට්ටමක පවතින බවත්, පවතින තත්ත්වයට කල්තියා සූදානම් වීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බවත් ඔහු අවධාරණය කළේය.
එක්සත් ජාතීන්ගේ කාලගුණවිද්‍යා ඒජන්සිය මේ වනවිට අනතුරු අඟවා ඇත්තේ දශකයකට පසු ඇතිවන ප්‍රබලම එල් නිනෝ තත්ත්වයක බලපෑමක් ඉදිරියේ දී එල්ල වීමේ හැකියාවක් පවතින බවටයි.
මෙරට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ද පවසන්නේ මේ හේතුවෙන් ජූලි – අගෝස්තු මාසවලදී ශ්‍රී ලංකාවට නියං තත්ත්වයක් ඇති වීමේ ඉඩක් පවතින බවය.
එල් නිනෝ යනු කුමක්ද?
එල් නිනෝ යනු පැසිෆික් සාගරයේ මතුපිට ජලයේ උෂ්ණත්වය සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉහළ යාමෙන් ලොව පුරා කාලගුණ රටාවන්හි විශාල වෙනස්කම් ඇති කරන ස්වභාවික සංසිද්ධියකි. මෙම තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව වැනි කලාපවලට සාමාන්‍ය වර්ෂාපතනය අඩුවී දරුණු නියං තත්ත්වයක් ඇති වීමේ හැකියාවක් පවතී.
2015/2016 කාලයේ ඇතිවූ අවසන් ප්‍රබල එල් නිනෝව නිසා ශ්‍රී ලංකාවේ වසර 40කින් දරුණුතම නියඟය ඇතිවූ අතර, දිස්ත්‍රික්ක 18කට අධික සංඛ්‍යාවකට ජල හිඟයෙන් බලපෑම් එල්ල විය. එම අත්දැකීම් සැලකිල්ලට ගනිමින් මෙවර කල්තියා සූදානම් වීම අත්‍යවශ්‍ය බව බලධාරීන් පෙන්වා දෙයි.