ඉන්දියාවේ මිලියන සංඛ්‍යාත තරුණ පරපුරේ දැඩි ආකර්ෂණයක් දිනාගනිමින් මෑතකදී කරළියට පැමිණි උපහාසාත්මක දේශපාලන ව්‍යාපාරයක් වන ‘කැරපොතු ජනතා පක්ෂයේ’ (Cocroach Janata Party – CJP) 30 හැවිරිදි නිර්මාතෘ සහ Gen-Z තරුණ නායක අභිජීත් දිප්කේ, උතුරු ඉන්දියාවේ ජායිපූර් නගරයේ ෂහීඩ් ස්මාරක් (Shaheed Smarak)හි පැවති දැවැන්ත විරෝධතාවක් අතරතුරදී නාඳුනන පුද්ගලයන් පිරිසකගේ දරුණු ප්‍රහාරයකට ලක්ව තිබේ. NEET (National Eligibility cum Entrance Test) විභාග ප්‍රශ්න පත්‍ර කාන්දුවීම්, CBSE (Central Board of Secondary Education) ඇගයීම් ගැටලු, උග්‍ර රැකියා විරහිතභාවය සහ අධ්‍යාපන ක්ෂේත්රයේ වගවීම ඉල්ලා මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි. දිප්කේ සිය ආධාරකරුවන්ගේ කර මතින් විරෝධතා භූමියට පැමිණෙමින් සිටියදී, සෙනඟ අතරින් කඩාවැදුණු පුද්ගලයන් දෙදෙනෙකු ඔහුගේ මුහුණට සහ උරහිසට කිහිප වතාවක්ම කම්මුල් පහර එල්ල කර, ගෙල බැඳි සළුවෙන් ඇද දැමීමට උත්සාහ කර ඇත. සමාජ මාධ්‍ය සහ රූපවාහිනී නාලිකා ඔස්සේ සජීවීව ප්‍රචාරය වූ මෙම දර්ශන හේතුවෙන් උද්ඝෝෂණ භූමිය පුරා දැඩි නොසන්සුන්තාවයක් හටගත් අතර, දිප්කේගේ ආධාරකරුවන් මැදිහත් වී ප්‍රහාරකයන් මෙල්ල කර පොලිසියට භාර දෙන තෙක් සුළු ගැටුම්කාරී තත්ත්වයක් ද ඇති විය.
සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ ජායිපූර් පොලිසිය තරුණයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් භාරතීය න්‍යාය සංහිතා (BNS) හි 170 වගන්තිය යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව දකුණු දිසා නියෝජ්‍ය පොලිස් කොමසාරිස් රාජර්ෂි රාජ් වර්මා මාධ්‍ය වෙත තහවුරු කළේය. අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි රාකේෂ් ගුර්ජාර් නැමැත්තෙකු තමන් “ජාතිකවාදියෙකු” බව පවසමින්, දිප්කේ විසින් “ජිහාඩි මානසිකත්වයකින්” රටේ තරුණයන් නොමඟ යවන බවට චෝදනා කර තිබේ. ප්‍රහාරයෙන් පසු X (ට්විටර්) සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ වීඩියෝ පණිවිඩයක් නිකුත් කළ අභිජීත් දිප්කේ ප්‍රකාශ කළේ, මෙවැනි භෞතික ප්‍රහාර යනු තමන් කෙරෙහි ඇති බියේ සහ බියගුලුකමේ ලකුණක් බවයි. තමන් මහත්මා ගාන්ධි සහ ආචාර්ය බී. ආර්. අම්බෙඩ්කාර්ගේ අනුගාමියෙකු බැවින් ආදරය සහ සාමය පෙරදැරි කරගෙන මෙම සටන අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවත්, තරුණ අයිතිවාසිකම් සහ විභාග අක්‍රමිකතා වැනි ප්‍රධාන ගැටලුවලින් ජනතා අවධානය වෙනතකට යොමු කිරීමට රජය මෙවැනි උපක්‍රම යොදන බවත් ඔහු පැවසීය. “ඔබට අපට එක වරක් හෝ දස වරක් පහර දිය හැකියි, නමුත් අපේ ඉල්ලීම එකමයි – කෝටියකට අධික සිසුන්ගේ අනාගතය අර්බුදයකට හෙළූ අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි,” යනුවෙන් ඔහු දැඩිව කියා සිටියේය.
මෙම අමුතු දේශපාලන ව්‍යාපාරයේ පසුබිම විමසීමේදී, ඉන්දීය අගවිනිසුරු සූර්යා කාන්ත් විසින් රැකියා විරහිත තරුණයන් “කැරපොත්තන්” සහ “පරපෝෂිතයන්” ලෙස හැඳින්වූ බවට මාධ්‍ය වාර්තා කිරීමත් සමඟ, ඊට උපහාසාත්මක ප්‍රතිචාරයක් ලෙස මෙය ආරම්භ විය. පසුව අගවිනිසුරුවරයා එය ව්‍යාජ උපාධිධාරීන් ඉලක්ක කර ගත් ප්‍රකාශයක් බවත් මාධ්‍ය එය වැරදියට අර්ථකථනය කර ඇති බවත් පැහැදිලි කළ ද, ඒ වනවිටත් “කැරපොත්තා” යන අනන්‍යතාවය තමන්ගේ කරගත් දිප්කේ, “රටේ ක්‍රමය කුණුවී ඇති නිසාම කැරපොත්තන් මතුවෙනවා. අපි කැපී පෙනෙන, රැකියා විරහිත සහ අමතක කර දැමූ පරපුරේ හඬ” යැයි පවසමින් CJP ව්‍යාපාරය නිල වශයෙන් දියත් කළේය. ඉන්දියාවේ බිලියන 1.42ක් වන සමස්ත ජනගහනයෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු 30ට අඩු තරුණ ප්‍රජාව නියෝජනය කරන අතර, ඔවුන් මුහුණ දෙන උග්‍ර රැකියා හිඟය සහ අධ්‍යාපනික අර්බුද හේතුවෙන් මෙම ව්‍යාපාරය ලැව්ගින්නක් සේ පැතිර ගියේය. ආරම්භ කර සති කිහිපයක් ඇතුළත CJP හි ඉන්ස්ටග්‍රෑම් ගිණුම අනුගාමිකයන් මිලියන 22.3ක් දක්වා වර්ධනය වූ අතර, එය ඉන්දියාවේ සාම්ප්‍රදායික ප්‍රධාන දේශපාලන පක්ෂ අභිබවා ගිය වාර්තාගත ජනප්‍රියත්වයකි. කෙසේ වෙතත්, දින 4ක් තුළ අනුගාමිකයන් ලක්ෂ 2 ඉක්මවූ CJP හි නිල X ගිණුම “ජාතික ආරක්ෂාවට තර්ජනයක්” බව පවසමින් නරේන්ද්‍ර මෝදි රජය විසින් ඉන්දියාව තුළ තහනම් කිරීමට පියවර ගත් අතර, ඊට එරෙහිව දිප්කේ දිල්ලි මහාධිකරණයේ නඩු පවරා තිබේ. මීට අමතරව ඔහුගේ පෞද්ගලික ඉන්ස්ටග්‍රෑම් ගිණුම සහ පක්ෂ වෙබ් අඩවිය ද සයිබර් ප්රහාරයන්ට (Hack) ලක්ව ඇති බව ඔහු චෝදනා කරයි.
ජායිපූර්හි පැවති මෙම විරෝධතාව CJP හි දේශව්‍යාප්ත ව්‍යාපාරයේ එක් පියවරක් පමණක් වන අතර, මේ වන විටත් අමෘතසර්, පූනේ, බෙංගලූරු, හයිද්‍රාබාද්, ලක්නව් සහ නවදිල්ලිය ඇතුළු ප්‍රධාන නගර රැසක තරුණ උද්ඝෝෂණ සංවිධානය කර ඇත. දිල්ලියේ ජන්තරු මන්තර්හිදී පැවති සාමකාමී වාඩිවීමේ උද්ඝෝෂණයට සුප්‍රකට පරිසර සහ සමාජ ක්‍රියාකාරී සොනම් වන්ග්චුක් වැනි ප්රමුඛ පෙළේ පුද්ගලයන්ගේ ද සහාය හිමි විය. ප්‍රහාරයෙන් පසු නාග්පූර්හිදී මාධ්‍ය ඇමතූ අභිජීත් දිප්කේ, මෙම ප්‍රහාරය පිටුපස දකුණත් පක්ෂපාතී RSS (Rashtriya Swayamsevak Sangh) සංවිධානයට සම්බන්ධ පිරිස් සිටින බවට සෘජුවම චෝදනා කළේය. “රජයට හෝ ඔවුන්ගේ මතවාදයට එරෙහිව හඬ නඟන විට මෙවැනි ප්‍රහාර එල්ල වීම ඉන්දියාවේ අලුත් දෙයක් නොවෙයි,” යැයි පැවසූ ඔහු, තමන්ට “පාකිස්තානුවා” යැයි ලේබල් ගැසුවද කිසිවිටෙකත් ප්රචණ්ඩත්වය වෙනුවෙන් අත ඔසවන්නේ නැති බව අවධාරණය කළේය. මේ අතර CPI(M) ඇතුළු වාමාංශික පක්ෂ රැසක් මෙම ප්‍රහාරය ප්රජාතන්ත්රවාදී විරෝධතාවලට එල්ල වූ පිළිකුල්සහගත මර්දනයක් ලෙස හෙළා දකිමින්, විරෝධතාකරුවන්ගේ ආරක්ෂාව වහාම තහවුරු කරන ලෙස මධ්‍යම රජයෙන් ඉල්ලා සිටී. කෙසේ වෙතත්, එල්ල වන චෝදනා සම්බන්ධයෙන් RSS සංවිධානය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.