ඩොලර් බිලියන 30 ක වියදමින් සඳ මත ඉදි වන ආටෙමිස් කඳවුර


පෘථිවියේ සිට කි.මී. ලක්ෂ හතරක් පමණ දුරින් පිහිටි සඳ මත ස්ථිර මිනිස් වාසස්ථාන ඉදි කිරීම විද්‍යාඥයන් තුළ කාලයක සිටම පවතින සිහිනයකි. මේ වනවිට කාරණා කටයුතු සිදු වෙම්න් ඇති ආකාරය අනුව පෙනෙන්නේ තව වැඩි කාලයක් නොගොස් මෙම අපූරු සිහිනය ඉටු කරගන්නට විද්‍යාඥයන් සමත් වනු ඇති බව යි. ඇමරිකාවේ නාසා ආයතනය මෙන්ම චීනයේ ජාතික අභ්‍යවකාශ ආයතනයත් තරගයට මෙන් මෙයට අදාළ ව්‍යාපෘතිවල නිරත වී සිටිනු දැක ගත හැකි වේ.

කෙසේ හෝ වේවා, නාසා ආයතනය සඳ මත ඉදි කිරීමට සැලසුම් කර ඇති ස්ථාවර කඳවුරට අදාල කටයුතු වේගවත් කරමින් සිටින ආකාරයක් මේ වනවිට දැක ගන්නට ලැබේ. අනාගතයේ සඳ මත වඩාත් විශාල මිනිස් ජනාවාස ඇති කිරීමේ වැඩපිලිවෙලේ මුල් අවස්ථාවක් ලෙස මෙම කඳවුර ඉදි කිරීම සැලකිය හැකිය.

නාසා ආයතනය නවසිය හැට හැත්තෑව දශකවල ක්‍රියාත්මක කළ ඇපලෝ වැඩසටහන යටතේ අජටාකාශගාමීහු කිහිප වරක්ම සඳ මත ගොඩ බැස්සෝය. එම වැඩසටහන යටතේ අවසන් වරට අජටාකාශගාමීන් සඳ මත ගොඩ බැස්සේ 1972 වසරේ යි.

ඇපලෝ වැඩසටහනේ දී වැඩිම කාලයක් සඳ මත ගත කළේ ඇපලෝ 17 මෙහෙයුම තුළින් සඳට ගිය ඉයුජින් සර්නන් සහ හැරිසන් ෂ්මිට් යන අජටාකාශගාමීන් දෙදෙනා යි. ඔවුන් දෙදෙනා සඳ මත ගත කළ කාලය පැය 74 කුත් විනාඩි 59 ක් විය. එය දින තුනකට තරමක් වැඩි කාලයකි.

කෙසේ නමුත් සඳ මත ඉහත කී ස්ථාවර මිනිස් කඳවුර ඉදි වූ විට අජටාකාශගාමීන්ට සති ගණන්, මාස ගණන් සඳ මත රැඳී සිටිමින් විවිධ පර්යේෂණ කටයුතුවල නිරත වීමට හැකිවනු ඇත. මෙම කඳවුර විද්‍යාගාරයක් ලෙසින් ද ක්‍රියාත්මක වන්නකි.

ආටෙමිස් මූලික කඳවුර (Artemis Base Camp) යනුවෙන් නම් කර ඇති මෙම චන්ද්‍ර කඳවුර ඉදි කෙරෙන්නේ සඳේ දක්ෂිණ ධ්‍රැවය ආසන්නයේ යි. මෙම කඳවුර ඉදි කිරීම සඳහා දක්ෂිණ ධ්‍රැව කලාපය තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබේ. එනම් මෙම කලාපය තුළ, විශේෂයෙන් එහි ඇති ආවාට තුළ මිදුණු ජලය ඇති බව සොයාගෙන තිබීම යි. මිනිස් කඳවුරක කටයුතු සඳහා ජලය අත්‍යවශ්‍යම සම්පතක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙම ජලය යොදා ගනිමින් ඉන්ධන නිපදවීමටත් විද්‍යාඥයන්ට හැකියාව ඇත.

නාසා ආයතනයේ මෙම ස්ථාවර කඳවුර ඉදි කිරීම සඳහා වැය කිරීමට ඇස්තමේන්තු කර ඇති මුදල ඇ. ඩොලර් බිලියන 30 කි. එය මේ කාලයේ ලංකා රුපියල් බිලියන 1,000 කට (කෝටි ලක්ෂයකට) ආසන්න වේ.

මෙම කඳවුර ඉදි කිරීමේ දී සඳ මත ඇති පස්, ලෝහ ආදී සම්පත් යොදා ගැනීමට නාසා ආයතනය බලාපොරොත්තු වේ. එම ද්‍රව්‍ය පෘථිවියේ සිට රැගෙන යාම බෙහෙවින් වියදම් අධික කටයුත්තකි. එමෙන්ම කඳවුරේ ඉදි කිරීම් කටයුතු සඳහා රොබෝවරුන් ද විශාල වශයෙන් යොදා ගැනීමට අපේක්ෂිත ය.

ආටෙමිස් මූලික කඳවුරේ අජටාකාශගාමීන්ගේ වාසය සහ පර්යේෂණ කටයුතු සඳහා වෙන්වන කොටස මීටර 6.5 ක (අඩි 21 ක) පමණ විශ්කම්භයකින් යුතු කවාකාර එකක් වනු ඇතැයි සඳහන් වේ. මෙයට අමතරව මෙම කඳවුර ආශ්‍රිතව න්‍යෂ්ටික සහ සූර්ය බලාගාර ආදිය ද ඉදි කෙරෙනු ඇත. ඒ, කඳවුරේ බල ශක්ති අවශ්‍යතා සපුරා ගැනීම සඳහා යි. එමෙන්ම අභ්‍යවකාශ යානා ගොඩබැස්සවීමට, ඉහළට නැංවීමට අවශ්‍ය වන අංගන ද ඉදි කිරීමට සැලසුම් කර තිබේ. මේ සියල්ල සැලකිල්ලට ගත් විට කඳවුර වර්ග කිලෝ මීටර ගණනක් පුරා පැතිරුණු එකක් වනු ඇති බව සඳහන් වේ.

මෙම මූලික කඳවුර ඉදි කිරීමේ කටයුතු ක්‍රියාත්මක කෙරෙන්නේ අදියර තුනක් යටතේ යි. පළමු අදියර මේ වනවිට ආරම්භ වී තිබේ. එය 2026 සිට 2029 දක්වා දිවෙන්නකි. දෙවැනි අදියර 2029 සිට 2032 දක්වා ද , තුන්වැනි අදියර 2032 සිට 2036 දක්වා ද ක්‍රියාත්මක වේ.

මෙම කඳවුර ඉදි කිරීම සඳහා ඇතැම් සැපයුම් සහ උපකරණ ආදිය පෘථිවියේ සිට රැගෙන යා යුතුය. මේ සඳහා මිනිසුන් රහිත රොබෝ යානා විශාල වශයෙන් යොදා ගැනීමට නාසා ආයතනය බලාපොරොත්තු වේ. මෙම යානා බොහොමයක් ඉදි කරමින් එම උපකරණ ආදිය සඳ වෙත ගෙන යාම සඳහා පෞද්ගලික අභ්‍යවකාශ සමාගම් ද දායක වේ.

ඉහත සඳහන් කළ පළමු අදියරේ දී කෙරෙන ප්‍රධාන කටයුත්තක් වනුයේ මෙවැනි රොබෝ යානාවල ක්‍රියාකාරිත්වය අත්හදාබැලීම යි. එම අදියරේ දී මෙවැනි යානා 21 ක් සඳ මත ගොඩ බැස්සවීමට සැලසුම් කර ඇත.

මූලික කඳවුර ඉදි කෙරෙන ප්‍රදේශය සිතියම් ගත කිරීමේ දී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ලබන්නේ ඩ්‍රෝන යානා විසිනි. එමෙන්ම භූමිය පිලිබඳ පරීක්ෂණ කිරීමේ කටයුතු සහ ඉදි කිරීම් කටයුතු ආදිය සඳහා සඳ මත ගමන් කළ හැකි රොබෝ වාහන යොදා ගැනෙනු ඇත. මෙම ඩ්‍රෝන සහ වාහන නිපදවීම සඳහා සහ ඒවා සඳ වෙත ගෙන යාම සඳහා ද පෞද්ගලික සමාගම් දායක වෙයි.

මෙකී ඩ්‍රෝන සහ වාහනවලින් යම් ප්‍රමාණයක් සඳ වෙත ගෙන යාම ද පළමු අදියරේ දී සිදුවන බවක් සඳහන් වේ. මේවා සඳ මත පවතින තත්වයන්ට ඔරොත්තු දෙන්නේද යන්නත් මෙහිදී පරීක්ෂාවට ලක් කෙරෙනු ඇත.

දෙවැනි අදියරේ දී සිදුවන්නේ වඩාත් බරපතල උපකරණ ආදිය සඳ වෙත ප්‍රවාහනය කිරීම යි. ටොන් 60 ක් පමණ බර උපකරණ මෙහි දී සඳ වෙත ගෙන යනු ඇතැ යි සඳහන් වේ. න්‍යෂ්ටික සහ සූර්ය බලාගාර, සන්නිවේදන කුළුණු ආදිය ඉදිකිරීම සඳහා අවශ්‍ය දේ ද මේ අතර වනු ඇත.

මෙම අදියරේ දී මිනිසුන් රහිත යානා 24 ක් සඳ මත ගොඩ බැසීමට නියමිත ය. ඒ ඔස්සේ කඳවුරේ ඉදි කිරීම් කටයුතු අවසන් වූ පසු 3 වැනි අදියරේ දී එය අජටාකාශගාමීන් ස්ථාවරව රැඳී සිටින කඳවුරක් බවට පත් වනු ඇත. මෙම අදියර ආරම්භ වීමට නියමිතව ඇත්තේ 2032 වසරේ යි.

නාසා ආයතනය මේ ව්‍යාපෘතිය මේ ආකාරයෙන් සැලසුම් කර තිබුණත් ඔවුන් හමුවේ තවමත් අභියෝග රාශියක් ඉතිරිව ඇති බව ද සඳහන් කළ යුතු වේ.

නිහාල් පීරිස්

 

එතෙර - මෙතෙර