මීගමුව බන්ධනාගාර ඛේදවාචකය: එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් රජයට ඉල්ලීම් මාලාවක් සහ දැඩි කණගාටුව

2026 ජූලි 6 වන දින මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ප්‍රචණ්ඩ ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 25 දෙනෙකුට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව, 100කට ආසන්න පිරිසක් තුවාල ලැබීමේ ශෝකජනක සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය බලවත් කණගාටුව පළ කර සිටියි. ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්රේ ෆ්රැන්වේ (Marc-André Franche) මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින්, විපතට පත් වූවන්ගේ පවුල් වෙත ශෝකය ප්‍රකාශ කර ඇති අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබේ.රැඳවියන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන් ද ජීවිතක්ෂයට පත්ව ඇති මෙම ගැටුම වරදකරුවන් වූ රැඳවියන් සහ රිමාන්ඩ් රැඳවියන් අතර ඇති වූවක් බව විදෙස් හා දේශීය මාධ්‍ය වාර්තා කරයි.බන්ධනාගාර නිලධාරීන් රජයේ සහ මහජනතාවගේ සේවය වෙනුවෙන් අතිශය දුෂ්කර කාර්යයක් ඉටු කරන පිරිසක් බව පෙන්වා දෙන නේවාසික සම්බන්ධීකාරකවරයා, ඔවුන්ගේ අහිමිවීම සමස්ත පද්ධතියටම දැඩි බලපෑමක් බව අවධාරණය කරයි. එමෙන්ම, තුවාල ලැබූ සහ මියගිය රැඳවියන් රජයේ රැකවරණය සහ ආරක්ෂාව යටතේ සිටි බැවින්, නිලධාරීන් මෙන්ම රැඳවියන් ද ඉහළ ආරක්ෂාවකට හිමිකම් කියන බවත්, එම ආරක්ෂාව නිසි පරිදි සහතික කිරීම රජයේ මූලික මෙන්ම ප්‍රධාන වගකීමක් බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සිහිපත් කරයි.
මෙම අවාසනාවන්ත සිදුවීම තුළින් මෙරට බන්ධනාගාර පද්ධතියේ පවතින බරපතළ සහ පද්ධතිගත ගැටලු රැසක් යළිත් කරළියට පැමිණ ඇත. ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාවේ ද බන්ධනාගාර මුහුණ දෙන ප්‍රධානතම අභියෝගයක් වන්නේ රැඳවියන්ගේ අධික තදබදය, යල් පැන ගිය ක්‍රමවේදයන් සහ පහසුකම් අඩුවීමයි.නවතම දත්තයන්ට අනුව, ලංකාවේ බන්ධනාගාර පද්ධතිය සතු සමස්ත ධාරිතාව 10,000කට පමණක් සීමා වී ඇති පසුබිමක, මේ වන විට එහි රැඳවියන් 39,000කට අධික සංඛ්‍යාවක් රඳවා සිටිති. මෙය ධාරිතාව මෙන් හතර ගුණයකට ආසන්න (390% කට වැඩි) අතිවිශාල තදබදයකි. මීට පෙර ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව ඇතුළු ජාත්‍යන්තර සංවිධාන ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල පවතින සෞඛ්‍යාරක්ෂිත නොවන තත්ත්වය, අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් සහ නඩු විභාගයකින් තොරව දීර්ඝ කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගත කර තැබීම (Prolonged Pre-trial Detention) පිළිබඳව දිගින් දිගටම කනස්සල්ල පළ කර තිබිණි.සිදුවීම පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කිරීම සඳහා රජය විසින් ස්වාධීන කමිටුවක් පිහිටුවීමට පියවර ගැනීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇගයීමට ලක්ව ඇත. එම කමිටුව මගින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශයන් සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හුදු ලේඛනවලට පමණක් සීමා නොකර, ප්‍රායෝගිකව අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව ෆ්රැන්වේ මහතා රජයෙන් ඉල්ලා සිටියි.
බන්ධනාගාර පද්ධතිය සඳහා අඛණ්ඩව ආයෝජනය කිරීමේ වැදගත්කම අවධාරණය කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය, බන්ධනාගාර ආරක්ෂාව ශක්තිමත් කිරීම, රැඳවුම් පහසුකම් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව (Nelson Mandela Rules) උසස් කිරීම සහ කාර්ය මණ්ඩලයේ සුබසාධනය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ඇතුළු සියලු සහායන් ශ්‍රී ලංකාවට අඛණ්ඩව සැපයීමට සූදානම් බව ද වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

කාලීන පුවත්